නත්තල රස ගන්වන්න අලුත්ම කේක්

දෙසැම්බර් 16, 2020

 

දින, සති ගෙවෙමින් 2020 අවුරුද්ද අවසන් වෙන්නත් ඇවිත්. කොරෝනා නිසා මේ අවුරුද්ද නිකම්ම ගෙවුණත් බොහොමයක් දෙනෙක් තම ජීවිතවලට නව අරුත් ලබා ගත්තා.

හැමෝම වාගේ මේ වසරේ වැඩි කාලයක් හිටියේ නිවෙසේමයි.

නිවෙසට වෙලා හිටියත් අපේ ළඳුන් ගෙදර ඉඳන් රස රස කෑම සාදා ඒවා ලස්සනට පින්තූරත් අරගන්න කැමරාවටත් දෑත හුරු කරගෙන. අලුත් දෙයක් ඉගෙන ගෙන ජීවිතේ ලස්සන කරගන්න "කෑම රූප" පිටිබලයක් වෙලා.

ඒ අතරේ ලොව පුරා හිඳීන අපේ මේ ලාංකේය ළඳුන් නත්තල වෙනුවෙන් ම රසැති කේක් වර්ග සකසා දැනුම බෙදා ගන්නවා. ඒ මේ නත්තල සමරන්නට හැදූ රසම රස කේක් සමූහයක් අපි ඔබ වෙනුවෙන් මෙලෙස "රසාර" වෙතින් තිළිණ කරනවා.

ස්තූතිය -

කෑම රූප සමූහය මෙහෙයවන අර්ජුනී රණතුංග ට හා

තුෂාරි සෙනෙවිරත්න ට

 

ලැමින්ටන් කේක්

 

මෙය ඔස්ට්‍රේලියානු අතුරුපසකි. මේ අතුරුපස හදන්නේ කේක් එක කොටු හැඩයට කපාගෙනයි. ඒක වෙනස් රසක්. හිතන්න, ස්පොන්ජ් කේක් එකක් චොකලට්වල පොඟවා ඒක වටේ ඩෙසිකේටඩ් කොකනට් තවරා කනකොට එන රසය. මෙහි රසයත් ඒ වගේමයි.

අවශ්‍ය දේවල්

ලොකු බිත්තර 4 ක්

සීනි ග්‍රෑම් 200 ක්

පාන් පිටි ග්‍රෑම් 200 ක්

(කේක් පිටි වඩා සුදුසුයි)

බේකිං පවුඩර් තේ හැඳී 1 ක්

වැනිලා තේ හැඳී 1 ක්

දියකරගත් බටර් හා කිරි ග්‍රෑම් 100 ක්

දැන් හදමු

පළමුවෙන්ම අවන් එක සෙල්සියස් අංශක 170 ට දාමා රත්කර ගන්න. අඟල් 7×7 කේක් ට්‍රේ එකක් සූදානම් කරගන්න. වියළි බඳුනකට බිත්තර හා සීනි දමා මධ්‍යම වේගයෙන් බීට් කරන්න. ක්‍රීම් එකක් වනතුරු විනාඩි පහක් පමණ බීට් කරන්න. එයට බේකිං පවුඩර් දමා හළාගත් පිටි දෙවතාවකට එක් කරන්න.

සෙමින් පිටි දියවනතුරු කලවම් කරන්න. පසුව එයට දියකරගත් බටර් හා කිරි එකතු කර නැවතත් සෙමින් මිශ්‍ර කරන්න. මිශ්‍රණය කේක් ට්‍රේ එකට දමා පෙර උණුසුම් කරන ලද අවන් එකේ විනාඩි 20 ක් 25 ක් පමණ බේක් කරගන්න. වැඩියෙන් බේක් වෙන්න දෙන්න එපා.

අවන් එක අනුව උෂ්ණත්වය හා කාලය වෙනස් විය හැකියි. බේක් වූ පසු නිවෙන්නට තියන්න. නිවුණාට පසු කොටු හැඩයට කේක් එක කපා ගන්න.

 

චොකලට් ගනාශ් එක

ඩාක් චොකලට් ග්‍රෑම් 150 ක්

කිරි මිලිලීටර් 75 ක්

බටර් හා සීනි ස්වල්පයක්

සාදමු

මේ සියල්ල ඩබල් බොයිල් ක්‍රමයට දියකර ගන්න. මෙතැනදී කේක් කෑලි ගනාශ් එකේ දවටලා ගන්න ඕනෙ. ඒ කියන්නේ හරියට කට්ලට් බිත්තර සාරුවල දවටනවා වගේ. ගනාෂ් එකේ ඝනකම අනුව දවටා ගන්නා ප්‍රමාණය අනුව ගනාශ් එකේ ප්‍රමාණය අඩු වැඩි වෙන්න පුළුවන්. ගනාෂ් එක නිවුණාට පසු කේක් කෑලි ගනාෂ් එකේ දවටා දීසිදි පොල්වල ආයෙමත් දවටා ගන්න. දීසිදි පොල් ගෙදර හදාගන්න පුළුවන්.

ඒ සඳහා වියළි පොල් ගෙඩියක් අරගෙන ඒකේ කට්ටට පිහියෙන් තට්ටු කරන්න. ඒක බිඳ පොල් මදය වෙන්කර ගන්න. ලොකු පොල් කැබැලි ලෙස ගලවා ගන්න. එම පොල් කැබැලිවල දුඹුරු පාට කොටස පිහියෙන් ඉවත් කර සෝදා තෙත මාත්තු කර නැවත පොඩි කෑලිවලට කපාගන්න. දැන් කපාගත් කෑලි ග්‍රයින්ඩ් කරගන්න. ඒවා පෙතැලි බඳුනක එකක දමා අඩු ගින්දරේ තෙත හිඳෙනකම් වේළා ගන්න. මේ විදියට දීසිදි පොල් සකසා ඒවායේ තවරා ගත් කේක් දැන් රස බලන්න.

ඡායාරූපය සහ උපදෙස්

ගයානි දිල්රුක්ෂි කලුආරච්චි

 

 

වයිට් කොකනට් ලේයර් කේක්

අවශ්‍ය දෑ

 

කේක් පිටි කෝප්ප 2½ ක් (ග්‍රෑම් 285 ක්) (කේක් පිටි නැත්නම් පාන් පිටි ග්‍රෑම් 285 ක් අරගෙන එයින් තේ හැඳී 5 ක් ඉවත් කර ඒ වෙනුවට කෝන් පිටි තේ හැඳී 5 ක් එකතු කරන්න)

බේකිං පවුඩර් තේ හැඳී 2 ක්

බේකිං සෝඩා තේ හැඳී ½ ක්

ලුණු තේ හැන්දක්

බටර් කෝප්ප ¾ ක් (ග්‍රෑම් 170 ක්)

සුදු සීනි කෝප්ප 1⅔ ක් (ග්‍රෑම් 30 ක්)

බිත්තර සුදු මද 5 ක්

සුදු යෝගට් කෝප්ප බාගයක් (ග්‍රෑම් 120 ක්)

වැනිලා එසන්ස් තේ හැඳී 2 ක්

සුදු පොල් තෙල් තේ හැන්දක්

උකු පොල් කිරි කෝප්පයක්

(මිලිලීටර් 240 ක්)

අයිසිං එක සඳහා

බටර් ග්‍රෑම් 250 ක්

ක්‍රීම් චීස් ග්‍රෑම් 250 ක්

අයිසිං සීනි ග්‍රෑම් 600 ක්

උකු පොල් කිරි මේස හැඳී 2 ක්

සුදු පොල් තෙල් තේ හැඳී ½ ක්

වැනිලා එසන්ස් තේ හැඳී ½ ක්

සැරසීමට ඩෙසිකේටඩ් පොල් කෝප්ප 2ක්

සාදන ක්‍රමය

උදුන සෙල්සියස් අංශක 180 ට සකසා රත් වෙන්න දමන්න. අඟල් 8 ක කේක් තැටි 3 ක් බටර් තවරා බේකිං කොළ අතුරා සකසා ගන්න. පිටි සමග බේකිං පවුඩර්, බේකිං සෝඩා, ලුණු කලවම් කරගන්න.

වෙනම භාජනයක බටර් සහ සීනි දමා බීටරයකින් සීනි කැට නොමැති වෙනතෙක් ගසා ගන්න. මෙයට බිත්තර සුදු මද එකතුකර හොඳීන් කලවම් වන තෙක් බීට් කරන්න.

යෝගට්, පොල් තෙල්, වැනිලා එකතුකර හොඳීන් බීට්කර අවසානයේ පොල් කිරි ද දමා හොඳීන් බීට්කර ගත් පසු තැටිවලට දමා විනාඩි 25 ක් 30 ක් විතර පුලුස්සා ගන්න.

අයිසිං එක සාදා ගැනීමට මුලින්ම බටර් සහ චීස් හොඳීන් ගසා ගෙන එයට ඉතුරු දෑ එකතුකර නැවත හොඳීන් ගසා ගන්න. (දියාරු වැඩි නම් තව සීනි ටිකක් ද ඝනකම වැඩි නම් තව පොල් කිරි ටිකක් ද එකතු කරන්න.)

කේක් හොඳීන් නිවුණු පසු ඒ මත අයිසිං තවරා එක මත එක තබා වටේට අයිසිං තවරා ඩෙසිකේටඩ් පොල් මතුපිටින් තවරා සරසා ගන්න. කෑමට ගන්නා තෙක් ශීතකරණයේ තබන්න.

 

 

ඡායාරූපය සහ උපදෙස්

චූලිකා කිරියාකු

 

අඹ චීස් කේක් කප්

අවශ්‍ය දේවල්

මාරි බිස්කට් ග්‍රෑම් 125 ක්

කාමර උෂ්ණත්වයේ තැබූ ලුණු රහිත බටර් මේස හැඳී 1 ක්

චීස් පිරවුම සඳහා

ජෙලටින් මේස හැඳී 1 ක්

උණු වතුර මිලිලීටර් 60 ක්

ක්‍රීම් චීස් ග්‍රෑම් 250 ක්

කුඩු කරගත් සීනි කෝප්ප ½ ක්

විපිං ක්‍රීම් මිලිලීටර් 250 ක්

වැනිලා තේ හැඳී 1 ක්

කුඩාවට කපා ගත් අඹ කෝප්ප ¾ ක්

සරසා ගැනීමට

කුඩා කොටු ලෙස කපා ගත් අඹ කෝප්ප 1 ක්

කුඩු කර ගත් පිස්ටාචියෝ

සාදන අයුරු

බිස්කට් සහ බටර් බ්ලෙන්ඩරයට දමා හොඳීන් කුඩු කරන්න. එය පසෙකින් තබන්න. ජෙලටින්වලට උණු වතුර දමා හොඳීන් මිශ්‍ර කර පසෙකින් තබන්න. දැන් ක්‍රීම් චීස්, සීනි, විපිං ක්‍රීම්, වැනිලා, අඹ කෝප්ප ¾ සහ ජෙලටින් මිශ්‍රණය බ්ලෙන්ඩරයට දමා කෑලි නොසිටින සේ හොඳීන් මිශ්‍ර කරගන්න. ඉන්පසුව කුඩා කෝප්ප ගෙන මුලින්ම ඒවාට බිස්කට් හා බටර් මිශ්‍රණය සමානව දමන්න. ඊට උඩින් චීස් පිරවුම සමානව දා ගන්න. ලේයර් කීපයක් ආකාරයට මාරුවෙන් මාරුවට ද දමා ගත හැකියි. ශීතකරණයේ විනාඩි 30 ක් පමණ තබා කෑමට ගන්න. කෑමට ගැනීමට පෙර කොටුවට කපා ගත් අඹ සහ පිස්ටාචියෝ කෝප්ප උඩින් දමා සරසා ගන්න.

 

ඡායාරූපය සහ උපදෙස්

අමාලි මදනායක