අයිසිං වලින් ජීවය ලද රෝස කුසුමක හැඩ

දෙසැම්බර් 23, 2020

මල් ලොව අඟ රැජිනිය වූ සුන්දර කොමලිය රෝස මලයි. රෝස මලට අයිසිං මල් කලාවෙන් විවිධ ක්‍රමයන්ට ජීවය දිය හැකි අතර අද අප එවැනි එක් ක්‍රමයක් ඔබ වෙනුවෙන් මෙලෙස ගෙන එනවා.

විශේෂ අවස්ථාවන් වෙනුවෙන් කේක් නිර්මාණය කරන ඔබට රෝස මල සාදන ආකාරය දැන ගැනීම වඩා වැදගත් වේවි. මෙම කේක් නිර්මාණයද පැවිිදි කන්‍යා සොයුරියකගේ උපන් දිනය වෙනුවෙන් හැඩවූවක් වන අතර තවත් දින දෙකකින් උදාවන අසිරිමත් නත්තල වෙනුවෙන් සාදාගන්නත් කදිමයි.

අවශ්‍ය ද්‍රව්‍ය

තයිලෝ පේස්ට් හෝ

පාච්මන්ට් අයිසිං

ගේජ් 20 කම්බි

ඩස්ටිං පවුඩර්

ස්පොන්ජ් කොටසක්

බෝල ටූලය

වේනරය

ටූත් පික්

නිර්මාණය කර ගැනීම

පළමුව ගේජ් 20 කම්බි කොටසක් ගෙන කොක්කක් ආකාරයට සාදා ගන්න. ඒ මත අයිසිං බෝලයක් රඳවා පොහොට්ටුවක් ආකාරයට සාදා ගන්න. ඉන්පසු එම පොහොට්ටුව වටා ටූත් පික් එකකින් හිල් විද ගන්න. මෙය දිනක් පමණ වේළීමට තැබිය යුතුයි. පළමුවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එසේ සාදා ගත් මල් පොහොට්ටුවයි.

ඉන්පසු තවත් අයිසිං කොටසක් ගෙන තුනීකර දෙවැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට කුඩා කටරය තබා මල් පෙති පහකුත් ලොකු කටරය තබා තවත් මල් පෙති පහක් - හතක් පමණ කපා ගන්න. මෙසේ කපාගත් පෙති සුළං නොවදින සේ තැබිය යුතුයි. දැන් එසේ කපාගත් මල් පෙති බෝල ටූලය මඟින් ටූල්කර පෙත්ත පළල් කරගන්න. පසුව ඒ මත ඩස්ටිං පවුඩර් තවරා වේනර් කර නැවත ස්පොන්ජ් කොටසක් මත තබා පෙති වටේට ටූල් කරන්න. තෙවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එසේ ටූල් කරගත් රෝස මල් පෙතිය.

දැන් එලෙසින් ටූල් කරගත් කුඩා මල් පෙත්තක් ගෙන එහි කණපිටට ජෙලටින් ස්වල්පයක් ගා පොහොට්ටුව වටා කෝණාකාරව අලවා ගන්න. දෙවැනි පෙත්ත ගෙන වේනර් වූ පැත්තට ගම් ගා කලින් පෙත්ත අලවාගත් තැනින් තබා රවුමට අලවා ගන්න. සිව්වැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එසේ පෙති අලවාගත් රෝස පොහොට්ටුවයි. දැන් තෙවැනි මල් පෙත්ත ගෙන දෙවැනි මල් පෙත්ත අලවා අවසන් වූ තැනින් තබා අලවන්න. ඒ ආකාරයට කුඩා පෙති පහ වටේට අලවා ගන්න. එසේ පෙති අලවා ඇති ආකාරය පස්වැනි ඡායාරූපයෙන් දැක්වේ.

ඉන්පසු අනිත් මල් පෙති පහ ගෙන ඉහතින් අලවා අවසන් කළ මල් පෙත්තේ මැදින් තබා ඉදිරියට අලවා ගන්න. මෙම මල් පෙති අලවා ගත යුත්තේ කුඩා ඩාට් එකක් සේ ඇඟිලි තුඩින් තද කරමින්ය. හය වැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ වටේට මල් පෙති අලවා ගන්නා ආකාරයයි. මේ ආකාරයට මලේ හැඩය පැමිණෙන තුරු පෙති වටේට අලවා ගන්න. සම්පූර්ණයෙන් මල සාදා ගත් පසු පෙනෙන ආකාරය හත්වැනි ඡායාරූපයෙන් දැක්වෙයි.

දැන් අටවැනි ඡායාරූපයේ දැක්වෙන ආකාරයට කොළ පැහැති අයිසිං බෝලයක් ගෙන තුනී කරන්න. ඒ මත ඩේසි මල් කටරය තබා මල් පෙත්තක් කපාගන්න. දැන් එම මල් පෙති බෝල ටූලය මඟින් තරමක් තුනීකර ඉහතින් සාදාගත් මලෙහි යටින් තබා අලවන්න. එය මලේ මනි පත්‍රයයි . එයට යටින් කොළ පාටින් කුඩාවට අයිසිං බෝලයක් සාදා රඳවන්න. නමවැනි ඡායාරූපයෙන් දැක්වෙන්නේ එසේ මනි පත්‍ර අලවාගත් මල් සහ පොහොට්ටු කිහිපයකි. මේ ආකාරයට ඔබට අවශ්‍ය පරිද මල් සහ පොහොට්ටු සාදා කේක් එකක් හැඩ කර ගැනීමට පුළුවනි.

උපදෙස් -
ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී 
ප්‍රදීකා විජේසූරිය