දේශීය රස මුසුවක්

ජනවාරි 6, 2021

අලුත් බලාපොරොත්තු සමඟින් තවත් වසරක් ඇරැඹුණා. මේ වසරේ ඔබටත් ඉටුකරගන්න ප්‍රාර්ථනාවන් ඇති. ඒ පැතුම් ඉටුවන්නට ප්‍රාර්ථනා පුරමින් අපි මේ නව වසර අරඹමු.

ගෙවුණු කාලය අපිට බොහෝ පාඩම් ඉගැන්වූ අතර එය අපේම දේශීය දේ කෙරෙහි ඇති නැඹුරුව තවත් වැඩි කළා. අපේ සුව සම්පත වෙනුවෙන් අංක එකට අපේ ආහාර රටාව වෙනස් කළ යුතුබව ඔබටම තේරෙන්නට ඇති. දේශීය ආහාරවලින් අපේ සුව සම්පත රැකෙනවා පමණක් නොවෙයි, තියෙන ලෙඩ රෝග බොහොමයක් සුව කරන්නත් ඒවාට අරුම පුදුම හැකියාවක් ඇත. මේ ආහාර අපේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරන අතරම අපව ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගනී.

ඒ නිසාම මේ වසර ඇරැඹුමේ දී අප දේශීය නැඹුරුව වැඩි කරමින් රසවත් කෑම බීම කිහිපයක් සකසන ආකාරය මෙලෙස ගෙන එනවා. මෙහි සඳහන් ආහාරපානවල ගුණ පිළිබඳ තොරතුරු ලබාගෙන ඇත්තේ අන්තර්ජාලයෙනි.

මේ රසවත් කෑම සකසා ඇත්තේ දේශීය ආහාරපාන කලාවට ඇල්මක් දක්වන කාන්තාවක්. 'තිලාගේ කෑම පිටුව' නමින් ෆේස්බුක් පිටුවක් ද ගෙන එන ඇය එයින් බොහෝ ආහාර පාන සකසන විදිහ ඔබට කියයි. වසර 25 ක් ගෘහණියක් ලෙස ලද අත්දැකීම් අතරින් දේශීය ආහාර හා පාන වර්ග 100 කට වැඩි ප්‍රමාණයක් එක් කරමින් මේ දිනවල පොතක් ද නිර්මාණය කරගෙන යන ඇය කොළඹ ආනන්ද බාලිකාවේ ආදි ශිෂ්‍යාවක් වන තිලානි විතානගේ ය.

ඇය ආහාර ඡායාරූපකරණයට ද සුවිශේෂී හැකියාවක් දක්වයිත. අපි ඇගේ ඉදිරි ගමනට සුබපතමින් ඈ අතින් සැකසුණු මේ කෑම බීම සකසා රස විඳිමු.

 

කෑම සැකසීමට උපදෙස් හා ඡායාරූප - තිලානි විතානගේ

 

 

ලබු කිරිබත්

 

අපි සාමාන්‍යයෙන් හදන කිරිබතට වඩා ලබු කිරිබත් කිරි රසයෙන් වැඩියි.

අවශ්‍ය වන්නේ

දියලබු ගෙඩියකින්

කොටසක්

සුදු කැකුළු හාල්

අවශ්‍ය පමණට

උකු පොල් කිරි

කෝපයක්

ලුණු පදමට

හදන්නෙ මෙහෙමයි

 

මුලින්ම ලබු කෑල්ලේ පොතු හා පුලුන් වගේ මදය ඉවත්කර (අපි වට්ටක්කා ශුද්ධ කරන විදිහට) කුඩා කෑලිවලට කපා ගන්න. සුදු කැකුළු හාල් හොඳීන් සෝදා සාමාන්‍ය කිරිබත් උයන ප්‍රමාණයට වතුර දමා ළිපේ තියන්න. බත උතුරන්න පටන් ගන්නකොටම කපාගත් ලබු කෑලි ටික දාලා මඳ ගින්දරේ පිසින්න.

බත ඉදී වතුර හිඳෙනකොට පොල් කිරි හා පදමට ලුණු දමා කිරි ටික හිඳෙන තුරු හැන්දෙන් කලවම් කරමින් උයාගන්න. (මතක තියාගන්න ඕනේ සාමාන්‍ය කිරිබතට වඩා ලබු කිරිබත් තෙතයි.) සාමාන්‍ය කිරිබත් වගේ කෙසෙල් කොළයක හෝ පිඟානක හෝ තුනී කර කෑලි කපා ටිකක් නිවෙන්න තියන්න.

කොච්චි දාපු සැර ලුණු මිරිසක් එක්ක රස විඳීන්න.

 

 

 

සීල වඩිච්චි

දකුණේ ජනප්‍රිය සුපිරි රස කෑමක් තමයි සීල වඩිච්චි නැත්නම් සීනී වඩිච්චි

අවශ්‍ය වන්නේ

කුරුම්බා ගෙඩියක්

සීනි (ඔබේ රස පදමට)

හුළං විස්කෝතු ටිකක්

නෙක්ටෝ හෝ කොමඩු

ජූස් ටිකක්

හදන්නේ මෙහෙමයි

කුරුම්බා ගෙඩියේ කට ගැඹුරට කපා වතුර ටික වෙනම, ලොඳ ටික වෙනම භාජනයකට අයින් කරන්න. දැන් කුරුම්බා ගෙඩිය ඇතුළට මුලින්ම කුරුම්බා වතුර ඊට පස්සේ ලොඳ ටික එකතු කරන්න. ඒකටම සීනී, හුළං විස්කෝතු හා නෙක්ටෝ හෝ කොමඩු ජූස් ටිකත් එකතු කරලා පැය භාගයක් වසා තබන්න. පැය භාගයකට පස්සේ කුරුම්බා ගෙඩියේ තියෙද්දීම හැන්දකින් රස විඳීන්න.

 

2021/01/06 තරුණි පුවත්පත බලන්න.