සැමියාගේ උපන් දිනයට තිළිණ කරන්න දිවයිනක හැඩ ගත් කේක් එකක්

පෙබරවාරි 3, 2021

අපි හැමදාමත් දූපුතුන්ගේ, මවුවරුන්ගේ හා යෙහෙළියන්ගේ උපන්දින හැඩකරන්න ලස්සනම ලසස්න උපන්දින කේක් තිළිණ කළෙමු. එහි වෙනසක් කරමින් ඔබේ ආදරණීය සැමියාගේ උපන්දිනය වෙනුවෙන් තිළිණ කළ හැකි අපූරු කේක් නිර්මාණයක් මෙලෙස ගෙන එනවා.

මේ තියෙන්නේ ලස්සනට හැඩකළ චොකලට් කේක් දූපතක්. ඔබේ ආදරයට ආදරයෙන් තිළිණ කරන්න චොකලට්වලින් සැකසූ මෙය අගනා තෑග්ගක් වේවි. මෙය ජනනී සිය සැමියා අසේලගේ උපන්දිනයට සැකසූ කේක් නිර්මාණයයි. අපි ඇගෙන් දැනගනිමු මේ ලස්සන කේක් එන සකසා ගන්නේ කෙසේද කියා.

මේ සඳහා ඔබ කැමැති ප්‍රමාණයේ චොකලට් කේක් දෙකක් හෝ තුනක් ගන්න, මේ නිර්මාණය සඳහා කිලෝ එකේ අඟල් 10ක ප්‍රමාණයේ තැටියක බේක් කරගත් චොකලට් කේක් දෙකක් උපයෝගී කරගෙන ඇත. චොක්ලට් කේක් සාදන ආකාරය පෙරදී පහදා දී ඇත.

අපි කේක් දෙක සැන්ඩ්විච් කරගෙන සහ ඒ වටේ කවර් කරගනිමු. මේ සඳහා ඔබට චොකලට් ගනාෂ් එක අවශ්‍ය වෙනවා.

චොකලට් ගනාෂ් සෑදීම සඳහා

ඩාර්ක් චොකලට් ග්‍රෑම් 300 ක්

මිල්ක් චොකලට් ග්‍රෑම් 300 ක්

ෆ්‍රෙෂ් මිලක් මේස හැඳි 3 ක්

බටර් තේ හැඳි 1 ක්

සුදුසු භාජනයක් ගෙන එයට චොකලට් ටික එකතුකර කිරි සමඟින් මයික්‍රෝවේව් එකේ විනාඩි 1 තබා දියකරගන්න. මෙය ඩබල් බොයිල් ක්‍රමයටත් දියකරගන්න පුළුවන්. ඉන්පසු දියකරගත් චොකලට්වලට බටර් එකතු කරන්න. එවිට දිස්නයක් සහිතව ලස්සනට චොකලට් ගනාෂ් එක හදාගන්න පුළුවන්.

දැන් සාදාගත් චොකලට් ගනාෂ්වලින් කොටසක් ගෙන කේක් දෙක එකට එකතුකරමින් සැන්ඩ්විච් කරගන්න. ඉන්පසු උඩ අපිට අවශ්‍ය හැඩය මතුවෙන විදියට කේක් කොටස් කපා අයින් කරගන්න, මෙතැනදී කේක් එක උඩ කඳු සහ වළක් ආකාරයට කපාගන්න. දැන් කපා වෙන් කරගත් කේක් කොටස්වලට චොකලට් ගනාෂ් කොටසක් එකතුකර කලවම් කර ගුළි ලෙස සාදාගන්න. හරියට අපි කේක් පොප්ස් හදනවා වගේ. දැන් එම කොටස් කේක් එක මත කඳු ගැටිති ආකාරයට තමන් කැමැති අයුරින් රඳවන්න

දැන් ඉතුරු චොකලට් ගනාෂ්වලින් ඒ කඳු සහ කේක් එක මුළුමනින්ම වැසෙන ආකාරයට කවර් කරගන්න. පසුව ටික වේලාවක් ගනාෂ් එක කේක් එකට රැඳෙනකම් තියන්න.

ටික වෙලාවකට පසු වයිට් චොක්ලට් ග්‍රෑම් 100 ක් කිරි මේස හැඳි 1 සමඟ එකතුකර දියකරගන්න. දියකරගත් වයිට් චොකලට් පින්සලක් මඟින් කඳු ගැට අතර සහ කේක් එක මත ගාන්න. හරියට මුහුදු පතුළ වතුර තුළින් පෙනෙන දසුන එන විදියට තැනින් තැනට ගාගන්න. එලෙස ගාගත් පසු පැය බාගයක් විතර තියන්න.

 

ඒ අතරේ අපි ජෙලි එක සාදා නිවෙන්න තියාගනිමු

උණු වතුර ලීටර 1ක්

ජෙලටින් ග්‍රෑම් 60 ක්

නිල් පාට ෆුඩ් කලරිං බින්දු කිහිපයක්

ඉහත ද්‍රව්‍ය එකතුකර ජෙලි එක සාදාගන්න. දැන් එය නිවෙන්න තියන්න.

දැන් පිරිසුදු ඉටි කවරයක් ගෙන තෙල් ටිකක් ආලේපකර මුළු කේක් එක වටේම රඳවන්න. ඒ කියන්නේ උඩින් ජෙලි මිශ්‍රණය වත් කළ විට එළියට නොඑන ලෙස මුළු කේක් එක වටේටම ඉටි කොළයක් මඟින් කවර කරන්න. කේක් එක තබා තිබෙන තැටිය හා ඉටි කොළය වටේටත් යටින් ඉටි කොළ මඟින් වටේම ආවරණය කරන්න. ඉන්පසු අපි සාදාගත් ජෙලි මිශ්‍රණය හැන්දකින් බොහොම පරෙස්සමින් කේක් එක මතට එක් කරන්න. දැන් රැයක් ශීතකරණයේ තියන්න.

දැන් අපි කේක් එක තව හැඩ කරගමු

කඳු මත පාසි සහ ගස් ආකාරයට පෙනෙන්නට....

මාරි බිස්කට් හෝ ඔබට තිබෙන සුදුසු බිස්කට් වර්ගයක් ගෙන එය රෝලිං පින් එකක් ආධාරයෙන් කුඩු කරගන්න. දැන් එය කොටස් තුනකට වෙන් කර තද කොළ පාට, ළා කොළ පාට සහ දුඹුරු පාට වන ලෙස වර්ණ ගන්වන්න.

කේක් එකේ ජෙලි කොටසට මේ බිස්කට් කුඩු වැටෙන්නේ නැතිවෙන්න ඉටි කොළයකින් කේක් එක ජෙලි කොටස මතුපිට ආවරණය කරන්න. ඉන්පසු පාට යොදාගත් බිස්කට් කුඩු පාට ගළපා කදු මත රඳවන්න.

දැන් හිමිහිට ජෙලි එක මත එළාගත් ඉටි කොළය අයින් කරන්න. කේක් එක වටේට තිබෙන ඉටි කොළය ද අයින් කරන්න. තව චොකලට් ගනාෂ් ටිකක් සාදා කේක් එක යට කොටස ආයෙමත් හොඳින් කවරකර නීට් කරගන්න. කේක් එක උඩ මුහුදු රැලි, වතුර ඇවිත් කඳුවල වදින ආකාරය මතුවෙන්න සුදු පාට ෆුඩ් කලරිං සහ පින්සලක් උපයෝගී කරගෙන රැලි ආකාරයට ඇඳගන්න.

කේක් එක යට වටේට ලොකු බිස්කට් කැබලි තබා හැඩ කරගන්න.

දැන් අපේ කේක් එක හරි.

මේ අදහසුත් අරන් ඔයාලගේ අදහසුත් එකතුකර සැමියා වෙනුවෙන් ලස්සන කේක් එකක් නිර්මාණය කරන්න.

 

උපදෙස් හා ඡායාරූප - ඉතාලියේ පර්මා හි සූපවේදිනී

ජනනි ගුරුසිංහ