ආදරණීයයන්ට ආදරයෙන් දේශීය රස මුසුවක්

පෙබරවාරි 10, 2021

 

සීමා මායිම් නැති ආදරයේ අරුත දන්නා අය තමන්ගේ යැයි කියන, තමන් අතින් සත්කාර ලබන්නවුන් සඳහා සුවිශේෂී කෑම සකසා දෙති.

ආදරයට අරුත් කියන එළැඹෙන නූතන ආදරණීයයන්ගේ දිනය වැලන්ටයින් සමරන්නට අපේ ළඳුන් ද පෙර මඟ බලයි. මේ ආදරය අරුත්බර ලෙස සමරන්නට හිතන ඔබේ පළමු පැතුම තමන්ගේ සමීපතයන්ගේ නිරෝගී දිගු දිවියයි. එසේ නම් ඒ වෙනුවෙන් පළමු පියවර තබන්න යැයි අපි ද ඔබට සෙනෙහසින් කියමින් ලාංකේය අපේ ජන දිවියට සුවිශේෂී පෝෂණයක් ගෙනදෙන දේශීය රස එකමුතුවක් මෙලෙස ගෙන දෙන්නේ අලුත් ඇසකතින් වැලන්යින් සමරන්නටයි. අපි මේ වැලන්ටයින් දිවියේ තේමාව 'වසවිසෙන් තොර අපේ දෙයින් පවුලේ පෝෂණය සුරැකීම' කරගනිමින් මේ ආහාර සකසා පවුලේ අයගේ ජීවිතය වඩාත් ආදණීය ලෙස රැකගන්නට ඔබත් එක්වන්න.

මේ ගෙවීයන කාලය අපිට බොහෝ පාඩම් උගන්වන අතර එය අපේම දේශීය දේ කෙරෙහි ඇති නැඹුරුව තවත් වැඩි කරන්නට උත්තේජ සපයයි. පවුලේ සුව සම්පත වෙනුවෙන් ආහාර රටාව වෙනස් කළ යුතුබව ඔබටම තේරෙනවා නේද? දේශීය ආහාරවලින් අපේ සුව සම්පත රැකෙනවා පමණක් නොවෙයි, තියෙන ලෙඩ රෝග බොහොමයක් සුව කරන්නත් ඒවාට අරුම පුදුම හැකියාවක් ඇත. මේ ආහාර අපේ ප්‍රතිශක්තිකරණ හැකියාව වර්ධනය කරන අතරම අපව ලෙඩ රෝගවලින් ආරක්ෂා කරගනී.

මෙහි සඳහන් ආහාරපානවල පෝෂණය හා ගුණ පිළිබඳ තොරතුරු ලබාගත්තේ අන්තර්ජාලයෙනි.

මේ රසවත් කෑම සකසා ඇත්තේ දේශීය ආහාරපාන කලාවට ඇල්මක් දක්වන සූපෙවිදිනියක් වූ තිලානි විතානගේ ය. 'තිලාගේ කෑම පිටුව' නමින් ෆේස්බුක් පිටුවක් ද පවත්වාගෙන යන ඇය එයින් දේශීය මෙන්ම විදේශීය ආහාර පාන සකසන විදිහ ද ඔබට කියයි. ඇගේ පවුලේ සුව සම්පත රැකගන්නට ඈ අතින් සැකසුණු මේ කෑම බීම සකසා ඔබ ද රස විඳින්න. පවුලේ සුව සම්පත රැකගන්න.

 

 

ජපන් බටු ගෙඩි තෙලට පන් බටුවලට සමහරු

සිංගප්පූරු බටු, රෝස බිලිං, ආඬි කොළ, රට බිලිං කියලත් කියනවා. සමහර අය මේක හදන්නේ ගෙඩිය පළා ඇට ඉවත් කරයි. එහෙත් ළපටි ගෙඩි භාවිත කරනවා නම් ඇට ඉවත් කළ යුතු නැහැ. කළු පාට මෝරපු ඇට ඉවත් කරන්න. මෙය ලාංකිකයන් පමණක් නොව ආසියානු රටවල් ගණනාවක ඖෂධීය ආහාරයකි.

කොළ මැල්ලුමට, වෑංජනයට, බැදුමට ද ඇට ඇරගත් ගෙඩි තෙලට මෙන්ම කිරට ද සකසාගන්නවා. සුප්වලටත් යොදා ගන්නවා. කරවල තෙල් දානවිට රස ගුණ සඳහා දලු හා ගෙඩි එක්කරගන්නා බව සඳහන්.

 

විටමින්, ප්‍රෝටීන්, පොස්පරස්, යකඩ, කැල්සියම්, ලවණ ආදී බොහෝ පෝෂක අඩංගු ජපන් බටු ප්‍රති ඔක්සිකාරක ගුණයෙන් ද පොහොසත්. ආයුර්වේදයේ, දියවැඩියා, මුත්‍රා ආබාධ, ශීත කාලයේ උණ, හිසරදය, කල්ගිය තුවාල ආදියට ප්‍රතිකාර සඳහා යොදා ගන්නවා. බහුලව පැතිර ඇති අධි කොලෙස්ටරෝල්, අධි රුධිරපීඩන තත්ත්වයන් සඳහා ද ගුණ දෙයි. ඇස්වලට හිතකර ජපන්බටු අක්ෂි රෝග වළක්වාලන අතර හතළිස් ඇඳීරිය ළඟාවීමේ කාලය ද පමා කර දෙනවා.

 

අවශ්‍ය වන්නේ

 

ජපන් බටු ගෙඩි

සුදු ලූනු

ලියාගත් අමුමිරිස්

රතු ලූනු

තක්කාලි

කපා ගත් වියළි

මිරිස් කරලක්

වියළි මිරිස් කැබලි

රස අනුව ලුණු

 

හදන්නේ මෙහෙමයි

 

භාජනයක් ළිපේ තියා එයට තෙල් අබ එක්කර ගන්න. අබ පුපුරුවා තළාගත් සුදු ලූනු, ලියාගත් අමුමිරිස්, රතු ලූනු, තක්කාලි, කපා ගත් වියළි මිරිස් කරලක් දමා තෙම්පරාදු කරන්න. ඊට පසුව දෙකට පළා ගත් ජපන් බටු එකතුකර කහ ස්වල්පයක් හා පදමට ලුණු දමා, බටු ටික තැම්බෙනකම් විනාඩි කීපයක් වසා තබන්න. ඊට පස්සේ කෑලි මිරිස් ස්වල්පයක් දමා කලවම්කර පිටතට ගන්න. අවශ්‍ය නම් උම්බලකඩ, කූනිස්සෝ, හාල්මැස්සන් වගේ ඕනෙම දෙයක් මේකට එකතු කර ගන්න පුළුවන්.

 

 

කිතුල් හකුරු මිශ්‍ර කිතුල් පිටි කැඳ

 

100% ක්ම කිතුල් ශාකයෙන්ම ලබා ගන්නා කිතුල් පිටි රසවත් වගේම ගුණවත් පිටි වර්ගයකි. අධික රුධිර පීඩනය, ආමාශගත රෝග, අධික තරබාරුව, අර්ශෂ් - මල බද්දය, අධික හිසරදය, රක්ත හීනතාවය, නින්ද නොයෑම වැනි නිදන්ගත රෝග රැසක් නිට්ටාවටම සුව කරගත හැකි ඖෂධීය පරම්පරාගත ශක්තිජනක ආහාරයක් ලෙස කිතුල් පිටි හඳුන්වයි.

එමෙන්ම සිරුර සිසිල් කරගැනීමටත් කුඩා ළමුන්ගේ මතක ශක්තිය වැඩි කිරිමටත් මානසික ඒකාග්‍රතාව රැකගැනීමටත් උපකාර වේ. එමෙන්ම කාන්තාවන්ගේ රුව වඩවන ආහාරයකි.

 

අවශ්‍ය වන්නේ

 

කිතුල් පිටි මේස හැඳි 2 ක්

උකු පොල් කිරි පීරිසි

කෝප්ප 2 ක්

රතු හෝ සුදු කැකුළු හාල්

මේස හැඳී 2 ක්

සූරා ගත් කිතුල්

හකුරු හෝ

සීනි (ඔබේ රස පදමට)

ලුණු ඔබේ රස අනුව

වතුර පීරිසි කෝප්ප 2 ක්

රටඉඳී, වියළි මිදි, කජු

මේවායින් කැමැති දෙයක් අවශ්‍ය නම් එකතුකර ගන්න පුළුවන්. අවශ්‍යම නැත.

 

 

හදන්නේ මෙහෙමයි

මුලින්ම හාල් මේස හැඳී 2 බෙරි වෙන්න උයාගෙන පොල් කිරි ටිකක් දමා හොඳීන් බ්ලෙන්ඩ් කරගන්න. දැන් කිතුල් පිටි, හකුරු හා වතුර භාජනයකට දමා හොඳීන් මිශ්‍ර කරන්න. එය ළිපේ තැබීමට සුදුසු භාජනයකට දමා එයටම බෙරි බත් මිශ්‍රණය එකතුකර හැඳීගාමින් කිතුල් පිටි හා හකුරු දිය වෙනකම් මඳ ගින්නේ පිසින්න.

ටික වෙලාවකින් කැඳ එක ඝනකම් තත්ත්වයට එනවා. එතකොට පොල් කිරි ටික එකතුකර මඳ ගින්දරේ නොනවත්වාම හැඳී ගාන්න. නැත්නම් කැඳ එක කැටි ගැහෙනවා. ඝනකම වැඩි නම් වතුර ටිකක් එකතු කර ගන්න. පදමට ලුණු හා අනෙක් අමතරව දමන දේවල් ද එකතුකර මඳ ගින්දරේ හැඳිගාමින් තරමක් උකු වූ විට ළිපෙන් ඉවතට අරගෙන උණුවෙන්ම රස විඳීන්න.

 

 

වැල් කොහිල දලු ඇඹුල

 

 

වැල් වශයෙන් වැඩෙන වැල් කොහිල ශාකයේ ළා කොළ පැහැති දලු අහාරයට ගත හැකියි. දිග නොහැරුණු දලු හෝ ළා පැහැති දිග හැරුණු දලු ආහාරයට වඩාත් සුදුසු වේ. ඊට හේතුව මේරූ පත්‍ර කසන ගතියකින් යුත්ත වීමයි. උයනවිට ගොරකා හා තක්කාලි යහමින් එකතුකර පිස ගැනීමෙන් එම කසන ගතිය නැති වී යයි. ප්‍රති ජීවක හා ප්‍රතිඔක්සිකාරක ගුණ සපිරි වැල් කොහිල ඇස්වලට ද හිතකරය. ඇස් රෝගවලින් සිරුරට ආරක්ෂාව ලබා දීමට මෙන්ම විටමින් ඒ හීනතාවෙන් ඇතිවන ගැටලු අවම කර දීමට ද හැකියාව ඇති මහඟු ඖෂධයකි.

ගිනියම් බව නසා ඇඟ සිසිල් කරයි. අම්ල පිත්ත රෝගය ආමාශ ගත තුවාල, අන්ත්‍ර රෝගවලට එරෙහිව ක්‍රියා කරමින් කුසගිනි වඩවයි. ආහාර ජීර්ණ පද්ධතියට උපකාරීවෙමින් මල බද්ධය දුරු කරයි. අර්ශස් රෝගයට හා මල මාර්ගයේ අපහසුතාවලට එරෙහිව ප්‍රතිචාර දක්වයි. අර්ශස් රෝගය සඳහා වැල් කොහිල කැඳත්, දලු වෑංජනයත් ආහාරයට ගැනීම ඉතා ගුණ දායකය. දියවැඩියාවට, අධික රුධිර පීඩනය හා තවත් රෝග රැසකට ගුණදායකයි.

 

අවශ්‍ය වන්නේ

ළපටි වැල් කොහිල දලු (ලොකු කෑලි කපා ගන්න)

තළාගත් සුදු ලුනු

ලියා ගත් රතු ලූනු, අමු මිරිස්

හෝ කොච්චි

කුරුඳු පොත්තක්

කහ, අමු තුනපහ කුඩු, මිරිස්

කුඩු හා බැදපු තුනපහ කුඩු

ඔබේ රස පදමට

ගොරකා පේස්ට්

කැබලි කපාගත් ලොකු

තක්කාලි ගෙඩි 2 ක්

දියකිරි කෝප්ප භාගයක්

රස අනුව ලුණු

 

හදන්නේ මෙහෙමයි

මුලින්ම මැටි හට්ටියක් ළිපේ තබා තෙල් ස්වල්පයක් දමා රත් කර අබ දමා පුපුරුවා ගන්න. එයටම වැල් කොහිල දලු හා පොල් කිරි හැර තළාගත් සුදු ලූනු හා අනෙකුත් ලියාගත් කළමනා සියල්ලක්ම එකතුකර මඳ ගින්දරේ ටික වේලාවක් තෙම්පරාදු කරන්න. එයටම තුනපහ වර්ග හා ගොරකා එකතු කරන්න.

දැන් හැන්දකින් තක්කාලි ටික දමා පොඩි කරන්න. ටික වේලාවකින් හොඳ සුවඳවත් තක්කාලි පේස්ට් එකක් හැදෙනවා. එයට ලොකු කෑලි කපාගත් වැල් කොහිල දලු ටික හා උකු පොල් කිරි ටික එකතුකර පිස ගන්න. ලුණ,ු ඇඹුල් හා තුනපහ මදි නම් එකතු කරන්න. බත්, පාන්, රොටි වැනි ඕනෑම කෑමක් එක්ක කන්න පුළුවන් හරිම රසවත් ව්‍යාංජනයකි.

 

වෙනස් විදිහකට තැඹිලි බොමු

ආහාරයමය තන්තු වලින් පොහොසත් තැඹිලි වතුරෙහි හා ලොඳවල අයඩීන්, මැග්නීසියම්, ෆොස්පරස්, කැල්සියම්, සින්ක්, විටමින් ඕ,ඛ් හා ඡ් අඩංගුය.

 

තැඹිලි වතුරෙහි තිබෙන අධික ඛණිජ ලවණ සංයුතිය නිසාවෙන් හෘදයාබාධ හා අධික රුධිර පීඩනය වැළැක්වීමේ ගුණයක් ද ඇත. ශරීරය අධික වෙහෙසට පත්වන අවස්ථාවල දී විජලන තත්ත්වයන්වල දී තැඹිලි වතුර හෝ කුරුම්බා වතුර පානය කිරීමෙන් විශිෂ්ට ගුණ ලැබෙයි.

අවශ්‍ය වන්නේ

තැඹිලි ගෙඩියක වතුර හා ලොඳ

දෙහි ඇඹුල් ස්වල්පයක්

ලුණු ස්වල්පයක්

අවශ්‍ය නම් සීනී

අයිස් කැට කීපයක්

 

හදන්නේ මෙහෙමයි

දෙහි ඇඹුල් හැර අනෙක් සියලුම දේවල් එකට දමා හොඳීන් බ්ලෙන්ඩ් කරන්න. අවසානයේ දෙහි ඇඹුල් එකතුකර බීමට ගන්න. රසවත් වගේම ගුණදායී පානයකි.