පවුලේ සාමාජිකයන් සතුටට පත්කරන්න රසට ගුණට මාළු හදමු

මාර්තු 3, 2021

 

ලොකු පොඩි කවුරුත් කන්න කැමැති මාළු නිවෙසක වරදින්නේ නැති කෑමක්. සතියකට දින කිහිපයක්ම මාළු හදන්න වෙනවා. ඒත් මේ මාළු එකම විදිහට හදනවා නම් මාළු කෑම කාටත් එපා වෙනවා. ඒ නිසා එකිනෙකට වෙනස් ක්‍රමයන්ට මාළු හදන විදිහ අපේ ගෘහණියන් දැන සිටිය යුතුමයි.

සාමාන්‍යයෙන් තෙලට, මිරිසට, කිරට ආදී ක්‍රමයන්ට සකසන මාළු ඔබේ නිවෙසේ සාමාජිකයන්ට කෑමට රුචි වඩන ලෙසින් වෙනස් වෙනස් රසයන්ට සකසන ආකාරය අද ඉදිරිපත් කරනවා. මෙයට පෙරත් අපි විවිධ ක්‍රමයටන්ට රසවත්ව මාළු සකසන ආකාරය පිළිබඳ දැනුවත් කර ඇති නිසා මේ කෑම අතිරේකයත් ඔබේ ඒ ආහාර වට්ටෝරු ගොන්නට එකතු කරගන්න කදිම තිළිණයක් වේවි. මාළු සකසන ඔබ දැන සිටිය යුතුම කරුණු කිහිපයක් ද මේ අතිරේකයට ඇතුළත් කළේ ඔබේ අවධානය සඳහාමයි. එසේ නම් අද සිට ඔබටත් පහසුවෙන්ම රසට ගුණට මාළු සකසන්න හැකි වේවි.

 

උපදෙස් හා ඡායාරූප ඉතාලියේ

පර්මා හි සූපවේදිනී

ජනනී ගුරුසිංහ

කෙලවල්ලෝ මාළු ඇඹුල් තියල්

අවශ්‍ය දේවල්

කෙලවල්ලෝ මාළු කිලෝ එකක් (මාළුවා හොඳින් සෝදා කෑලි කපාගන්න)

කහ තේ හැඳි ½ ක්

ගම්මිරිස් මේස හැඳි 2 ක්

ගොරකා කැබලි 8 ක් 10 ක් පමණ

රස අනුව ලුණු

වතුර කෝප්ප 1 ක්

 

සාදන ආකාරය

ඉහත සියලු දේවල් එක්කර මාළු ටික විනාඩි කිහිපයක් තම්බගන්න. මාළු පමණක් අයින්කර ගොරකා කැබලි, ගම්මිරිස් සහිත තම්බාගත් වතුර ගෙන එයට මිරිස් කුඩු මේස හැඳි එකකුත් ගම්මිරිස් කුඩු තව මේස හඳි 1 කුත් එකතු කරන්න. මිරිස් කුඩු එකතු කළේ ලස්සන පාටක් ගන්න, ඔබට පුළුවන් මිරිස් කුඩු නොදා ගම්මිරිස් කුඩු විතරක් දාන්න. දැන් හොඳින් බ්ලෙන්ඩ් කරගන්න.

ගොරකා හොඳින් තැම්බී තියෙන නිසා බ්ලෙන්ඩ් කිරීම හරිම ලේසියි. දැන් බ්ලෙන්ඩ් කරගත් මිශ්‍රණයට ලුණු මදි වගේ හැඟේ නම් එක්කරන්න. මාළු තම්බද්දී අපි ලුණු එකතු කළ නිසා රස බලා මදි පාඩුවට ලුණු එකතු කරන්න. ඉඩ තිබෙන ලොකු භාජනයක් ළිප තබා එයට තෙල් මේස හැඳි දෙකක්, ලොකු කුරුඳු කැබැල්ලක් (නැතිනම් කැබලි කිහිපයක්), එනසාල් 3, 4 ක් එක් කර හැඳිගාමින් පිසගන්න. ටික වේලාවකින් එයින් සුවඳ හමද්දී මාළු කෑලි ඒ මත අතුරන්න. දැන් මාළු කෑලි වැසෙන ආකාරයට අර බ්ලෙන්ඩ් කරගත් මිරිස්, ගොරකා මිශ්‍රණය එක් කරන්න. කරපිංචා කොළ අහුරක් උඩින් එකතු කරන්න. මඳ ගින්දරේ හොඳින් හිඳෙන්න දෙන්න. ගොරකා පහේ හොඳින් මාළුවලට උරාගන්න තුරු විනාඩි 20 ක් විතර මඳ ගින්දරේම තියන්න. හොඳින් නිවුණු පසු මාළු ව්‍යාංජනයේ රස බලන්න. මේ විදියට උයාගත් මාළු ව්‍යාංජනය පහුවදාට තවත් රසයි.ඔබ කැමැති නම් මාළු තම්බා ගැනීම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට ගොරකා උණු වතුර ටිකක බහා තියන්න. එතකොට මෙලෙක් වෙනවා. දැන් ඒ ගොරකා එම වතුරෙන්ම අඹරන්න. (මිරිස් ගලක හෝ බ්ලෙන්ඩරයක) ගොරකා අඹරද්දී එයට ලුණු, ගම්මිරිස්, මිරිස්

කුඩු එකතු කරන්න, මෙයටම කුරුඳු සහ එනසාල් එක්කර හොඳින් අම්බරාගන්න.දැන් එම මිශ්‍රණය කපා පිරිසුදු කරගත් මාළු කෑලිවල දවටන්න. සුදුසු භාජනයක් ළිප තබා තෙල් එකතු කර රත්වීගෙන එද්දී මිශ්‍රණය දවටගත් මාළු කෑලි අතුරන්න. බ්ලෙන්ඩරයේ හෝ මිරිස් ගලේ රැඳී සියල්ල වතුර ටිකක් මඟින් සෝදා ගෙන මාළු උඩට එක් කරන්න..කරපිංචා අහුරක් උඩින් එක් කර මඳ ගින්දරේ උයාගන්න. මාළු කෑලිවලට ගොරකා මිශ්‍රණය හොඳින් උරාගෙන ඉස්ම හිඳෙන තුරු තියන්න. පසුව ළිපෙන් ඉවත්කර නිවෙන්න තියන්න.

 

 

මාළු කූරියා පිටින් පෑන් එකේ හදමු

 

මාළු කූරියෝ දෙකක් ගන්න බර ග්‍රෑම් 700 ක් පමණ මාළුවා හොඳින් සෝදා පේපර් සර්වියට් එකක් මඟින් වතුර අයින් කරගන්න. දැන් කැපුම් දෙක තුනක් එකතුකර එයට රස අනුව ලුණු, ගම්මිරිස් කුඩු තේ හැඳි ½ ක්, මිරිස් කුඩු තේ හැඳි 1 ක් එකතුකර කලවම් කර මාළුවාගේ ඇඟේ හොඳින් ගාන්න.

ලොකු පෙතලි බඳුනකට තෙල් පොඩ්ඩක් එකතුකර ඒ පැත්ත මේ පැත්ත හරවමින් බැදගන්න.

කෑමට ගනිද්දී දෙහි ඇඹුල් ටිකක් ඉස කෑමට ගන්න. වැඩි රසට චිලි සෝස් ටිකක් එකතුකර ගන්නත් පුළුවන්.

*************************************

 

 

 

 

මාළු පිසීමේ දී දැන සිටිය යුතු කරුණු

 

* මාළු උයද්දී පියන අරින්න වහන්න එපා. එතකොට තමා පිළී ගඳ එන්නේ.

 

* මාළු ඇඹුල් තියල් හදද්දී වැඩි රසට තෙල් ටිකක් රත්කර එයට අඹරා සකස් කරගත් ගොරකා පේස්ට් එක එකතුකර තෙලෙන් පොඩ්ඩක් බැදෙන්න දෙන්න.

 

* කල් තබාගන්න මාළු ඇඹුල් තියල් හදනවා නම් ලූනු, සුදු ලූනු එකතුකරන්න එපා.

 

* දවසින් දෙකෙන් කන්න හදනවා නම් ලූනු, සුදු ලූනු, අමු මිරිස් එකතුකර ගැනීමෙන් වැඩි රසක් එකතු වේ.

 

* කොච්චි අහුරක් එකතු කිරීමෙන් ද වැඩි රසක් ගෙන දේ..

 

* ගොරකා වෙනුවට වේළාගත් බිලිං පොඩ්ඩක් එකතුකරන්න වෙනස්ම රසක් එයි.

 

* කරපිංචා, රම්පේ, කුරුඳු සහ තළාගත් එනසාල් එකතු කිරීමෙන් පිළී ගඳ නැතිවී රස වැඩිකරගත හැකියි.

 

* දෙහි ඇඹුුල් එකතු කිරීමෙන් ද රස වැඩි වේ.

 

* බදින මාළුවලට ලුණු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු එකතුකර දවටගෙන ටිකක් වේලා තබා බැදගන්න.

 

* මාළු බදින්න කලින් හොඳින් වතුර තෙත මාත්තු කරගන්න.

 

* මාළු කහ වතුරෙන් සෝදා පිරිසුදු කරගන්න.

* කිරට හදන මාළු තෙලෙන් පොඩ්ඩක් තම්බා සෑදූ විට වඩා රසවත් වේ.

 

* මාළු සෝදන විට නාරං කොළ. දෙහි කොළ ආදිය යොදා සෝදාගැනීමෙන් ද පිළී ගඳ නැතිකර ගත හැකියි.