ආහාර සැකසීමේ කලාව ඔබත් ප්‍රගුණ කරනවාද?

මැයි 5, 2021

 

ආහාර සැකසීම ද කලාවකි. එසේ වන්නේ ආහාරයක රසය, ගුණය, පෙනුම රැකෙන ලෙසින් සකසා ගැනීම මඟින් ගතට ලැබෙන ප්‍ර යෝජනය මෙන්ම සිතට ද සතුටක් ලබා දීම නිසයි. එය ආහාරය සකසන තැනැත්තාගේ සිතට මෙන්ම ආහාර දකින,

රස විඳින පුද්ගලයන්ගේ සිතට ද ලැබෙන්නකි. එහෙත් ආහාර මනාව සකසා ගැනීම පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා දැනුම, අතේ හුරුව ආදිය තිබිය යුතුය. ආහාරයක ඇති වැදගත්කම, එය වැඩියෙන් රසවත් කිරීමට යෙදිය හැකි ද්‍රව්‍ය මෙන්ම එහි පෝෂ්‍ය ගුණය නොනැසෙන සේ සැකසීම ආදිය ආහාර සකසන්නා තුළ තිබිය යුතුය.

අපි මේ ලිපි පෙළ පළකිරීමේ අදහස වන්නේ ද එවැනි කරුණු අපේ කාන්තාවන් නොදැන සිටී නම් හෝ අමතකව ගොස් ඇත්නම් ඒවා නැවත මතකයට ගෙන ඒමයි. ඇතැම් අය තුළ ඇති වැරැදි අදහස්, වැරැදි පුරුදු භාවිතයෙන් ඉවත් කිරීමයි. අප මෙතෙක් මේ ලිපි මඟින් හෙළ ඉවුම් පිහුම් කලාවේ දී වැදගත් වන දේශීය රස කාරක 42 පිළිබඳ ඔබට යම් දැනුමක් ලබා දීමට කටයුතු කළෙමු. අද සිට අපි ඔසු කුටියේ දී අපේ එදිනෙදා ලබා ගන්නා ඔසු, නැතිනම් ආහාර සැකසීමේ දී වැදගත් වන කරුණු පිළිබඳ දැනුම්වත් වෙමු.

 

නිරවුල් මනසකින් ඇතුළු වෙමු

ඔසුකුටියට පිවිසීමේ දී අපි නිතරම එයට නිරවුල් මනසකින් යුතුව ඇතුළු විය යුතුයි. සිතේ විවිධ වූ සිතිවිලි, වෛරී සිතුවිලි හෝ සිතේ කලබලකාරී තත්ත්වයන් තිබීම එතරම් සුදුසු දෙයක් නොවේ. රසවත්, ගුණවත් ආහාර වේලක් පිළියෙල කිරීමට ඔබ අදහස් කරනවා නම් ඒ සඳහා සිතේ ඇති නිරවුල් බව ද අවශ්‍ය ම වේ.

එසේ නැති වූ විට ආහාරවල රසයට ඔබේ මනසේ තත්ත්වය ද බලපායි. ආහාර සැකසීමේ දී ලුණු අඩු වැඩි වීම සිදු වන්නේ ද නිසිලෙස ව්‍යාංජන සැකසීමට අපහසු වන්නේ ද නිරවුල් මානසිකත්වයකින් තොරව ආහාර පිළියෙල කිරීමට ගිය විටයි. තමා සකසන ආහාරය එය බුක්ති විඳින සැමට ඖෂධයක් ම වේවා යි මෙත් සිතින් ආහාර සැකසීම සිදු කරන විට ආහාරයේ රසය මෙන්ම ගුණය ද වැඩි වේ. තරහින්, වෛරයෙන් යුතුව සකසන ආහාරවල රසය අඩුවනවා මෙන්ම ඒවායෙහි ගුණය ද අඩු ය. එමනිසා ආහාර සැකසීම ද වෙදමහතෙක් ඖෂධ සකසන්නාක් වැනි වූ කටයුත්තකි.

 

ආහාර සැකසීම භාවනාවක් කරගන්න

 

ආහාර සැකසීම භාවනාවක් කරගන්න. සිත වෙනත් අරමුණුවලට නොයවා තමා සකසන ආහාරය ගැනම, තමා දැන් සිදු කරන කාර්යය ගැනම සිත යොමු කරන්න. ඉන් ඔබගේ නිවැසියන්ට රසවත්, ගුණවත් ආහාර රස විඳීමට හැකි වනවා මෙන්ම නිරෝගී බවද ලැබේ. එමෙන්ම නොදැනුවත්වම ඔබ ද නිරෝගී ප්‍රියමනාප චරිතයක් වේ. ඔසු කුටිය ඔබට මෙන්ම නිවැසියන්ට ද නිවෙසේ ප්‍රියමනාප ම ස්ථානය බවට පත් වේ.

ඔබ නිවෙසේ අනෙකුත් අංශවලට වඩා ඔසු කුටියට වැඩි අවධානයක් ලබා දිය යුතුයි. මන්ද නිවැසියන්ගේ ශරීර සෞඛ්‍යට ඍජුවම බලපාන ආහාර සකසන ස්ථානය එය නිසයි. එබැවින් පිළිවෙළ, පිරිසුදු බව වැඩියෙන් ම තිබිය යුතු ස්ථානය වන්නේ ද ඔසු කුටියයි. ආහාර පිළියෙල කිරීමෙන් අනතුරුව නිසි ලෙස භාජන සෝදා නිසි ස්ථානවල තබා තෙල් ඉඳුල් සෝදා හැර තිබීමෙන් සතුන් ඔසු කුටියට පිවිස ආහාරවලට හානි කිරීම වළක්වා ගත හැකියි. මීයන්, කැරපොත්තන්, කූඹින් වැනි සතුන් නිවෙසක වැඩි වශයෙන් ම ගැවසෙන්නේ ඔසු කුටිය නැතිනම් මුළුතැන්ගෙය තුළයි. එම නිසා පිරිසුදු බව රැකීමෙන් එම සත්ත්ව උවදුරු අවම කරගැනීමට පුළුවන්.

එමෙන්ම ඔසුකුටියේ බිත්ති, වහළ හෝ සිවිලිම ආදිය මකුළු දැල් බැඳීමට නොදී පිරිසුදු කරගන්න. එසේ නොමැති විටෙක ඔබ සකසන ආහාරයක් කුඩා වෙලාවකට හෝ වැසීමට අමතක වුවහොත් එයට නොයෙක් අපද්‍රව්‍ය හෝ කුඩා සතුන් වුවද වැටිය හැකියි

ඔසුකුටියේ පසෙක කුඩා පොතක් හා පෑනක් හෝ පැන්සලක් තබන්න.

ඔසුකුටියේ පසෙක කුඩා පොතක් හා පෑනක් හෝ පැන්සලක් තබන්න. එහි ඔසු කුටියට ගෙන ඒමට අවශ්‍ය, ඉවරවීමට ආසන්න බඩු ගැන එය දැනගත් මොහොතේ ම සටහනක් තබන්න. මෙමඟින් බඩු ඉවර වීම නිසා ආහාර පිසීමේ දී ඔබට යම් අපහසුතාවලට මුහුණ නොදී සිටිය හැකියි. එමෙන්ම බඩු ගැනීමට යාමේ දී හෝ නිවෙසේ අයෙක් වෙළෙඳපොළට යාමේ දී අවශ්‍ය කළමනා ගැන සිත සිතා සිටීමට යන කාලය ඉතිරිකර ගැනීමට ද හැකියි.

ඔබ තුනපහ වර්ග සකසා තබා ගැනීම ඉවීමට පහසුවක්. හැකි සෑම වෙලාවක ම නිවෙසේ දී ම අවශ්‍ය පහේ වර්ග සකසා ගැනීම සිදු කිරීමෙන් ඒවායෙහි පිරිසුදු බව, ගුණාත්මක බව මෙන්ම රසය ද රැකගත හැකියි. තුනපහ සකසන විට බොහෝ දෙනා බැදපු තුනපහ කුඩුද සකසා තබා ගැනීමට පුරුදු වී සිටිති. එහෙත් බැදපු තුනපහ කුඩු සකසා තබා ගැනීම එතරම් සුදුසු දෙයක් නොවන්නේ එමඟින් එහි ඇති ගුණාත්මක බව නැතිව යන නිසයි.

ඒ නිසා එදිනෙදා ආහාර පිළියෙළ කිරීමේ දී අවශ්‍ය විටෙක, ව්‍යාංජනයට අවශ්‍ය ප්‍රමාණයට තුනපහ ස්වල්පයක් කබලේ බැද ගැනීම වඩාත් සුදුසු යි.

මස් කරියක් සකසන විට ගම්මිරිස් දැමීමේ දී එයට ගම්මිරිස් කුඩු දැමීමට වඩා ගම්මිරිස් කැබැලි ලෙස දැමීමෙන් රසය, ගුණය මෙන්ම සුවද ද වෙනස් වේ. මස්කරිය සකසා එය ළිපෙන් බෑමට ආසන්න අවස්ථාවේ දී ගම්මිරිස් එකතු කළ යුතුයි. නමුත් මාළු ඇඹුල් තියල් සැකසීමේ දී මිරිස්, ගම්මිරිස් සියල්ල එකට අඹරා ගැනීම කළ යුතුයි.

මෙවැනි කුඩා වුවත් ආහාර රසවත් කරන ඉවුම් පිහුම් ක්‍රමෝපායයන් සමඟ අපි ලබන සතියේ දීත් හමුවෙමු.