කොරෝනා කාලයට ගැළපෙන ඉඟුරුවලින් අපූරු රසකැවිලි

ජුනි 23, 2021

 

දේශීය රසකාරක බෝග වගාව යටතේ ඉඟුරු වගාව පිළිබද බොහෝ තොරතුරු රැගෙන ආවා ඔබට මතක ඇති. ඉඟුරු සිටුවීම, රැකබලා ගැනීම, අස්වනු නෙළීම පමණක් නොව එම අස්වැන්න පිරිසුදු කර ඇසිරීම සහ ගබඩා කරන ආකාරය පිළිබඳවත් අප එහිදී කතාබහට ලක් කළා. ඊට අමතරව ඉඟුරු බෝගය භාවිත කරමින් විවිධ අතුරු නිෂ්පාදන කළ හැකි බවත්, ඒ ඇසුරෙන් හොඳ වෙළෙඳපොළක් නිර්මාණය කරගත හැකි ආකාරයත් අප ඔබට සඳහන් කළා.

මේ වසරේ මුල් කාර්තුවේ දී නෙළාගත් ඉඟුරු අස්වැන්නෙන් මව් බීජ සිටුවා ඉතිරිය ඔබ සතුව ඇති. විශේෂයෙන්ම මේ දිනවල පවත්නා වසංගත තත්ත්වය හමුවේ ප්‍රතිශක්තිය නංවන ඖෂධයක් වූ ඉඟුරුවලට හොඳ ඉල්ලුමක් ද පවතිනවා.

ඉතින් ඉතිරි වූ ඉඟුරු අස්වැන්න අපි ඵලදායිව භාවිත කරමු.

හැමදාමත් ඉඟුරු මිශ්‍ර තේ කෝප්පයකට පමණක් සීමා වූ ඔබේ ඉඟුරු භාවිතයෙන් මෙවැනි රසවත් කැවිලි පෙවිලි සැකසිය හැකියි නේද? සංචරණ සීමා නිසා නිවෙසට කොටු වී සිටින ඔබේ ආදරණීයන්ට එය කදිම තිළිණයක් වනු නොඅනුමානයි.

එමෙන්ම තරමක් වැඩිපුර තියෙන ඉඟුරු භාවිත කරලා ඔබට මේ ආහාර සකසා ගතහැකි නම් එය කදිම ස්වයං රැකියාවක් ද වේවි.

 

උපදෙස් -

අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ, මාතලේ මධ්‍යම පර්යේෂණ මධ්‍යස්ථානයේ, පසු අස්වනු තාක්ෂණ අංශයේ, අංශ ප්‍රධානී, නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ) තුෂාරි ලියනගේ

 

විශේෂ ස්තූතිය _ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දිශාන්ති කොඩිතුවක්කු ඇතුළු මාධ්‍ය අංශයට

 

 

 ඡායා - ලසන්ත අබේරත්න

 

 

රස කළ ඉඟුරු පෙති

 ලුණු මිශ්‍රව වියලාගත් ඉඟුරු පෙති සේම ඔබට සීනි මුසු කළ ඉඟුරු පෙති ද වියළා කල්තබා ගත හැකිය. මෙහිදි වෙනස

වන්නේ ලුණු මිශ්‍ර ඉඟුරු පෙති මස්, මාළු, ව්‍යංජන සකසා ගැනීමට භාවිත කිරීමත්, සීනි මිශ්‍ර රසකළ ඉඟුරු පෙති රසකැවිලි

සැකසීමට භාවිත කිරීමත්ය.

විශේෂයෙන්ම උගුරේ අපහසුතා ඇති අවස්ථාවලදී ඔබට මේ ඉඟුරු පෙත්තක් සපා කෙළ ගිලීමෙන් උගුරට සහනයක්

ලබාගත හැකිය. ඊට අමතරව නිදිමත ඇතිවීම වළක්වා ගැනීමටත් මේ රසකළ ඉඟුරු පෙති ඉතා කදිමයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

. අවශ්‍ය පමණට අමු ඉඟුරු

. ඊට සෑහෙන පරිදි සීනි

 

සාදන ක්‍රමය

. ලුණු රසැති ඉඟුරු පෙති සකසා ගන්නා ආකාරයටම මෙහිදී ද ඉඟුරු සෝදා පොතු හැර නැවතත් සෝදා බර කිරාගන්න.

. ඉන්පසුව මිලිමීටර් 2 - 3 ක් පමණ ඝනකමට සිටිනසේ පෙති කපා ඉඟුරු වැසෙන පරිද්දෙන් ජලය දමා තම්බාගන්න.

. අනතුරුව ජලය පෙරා ඉවත්කර සීනි මිශ්‍ර කරන්න. මෙහිදී ඉඟුරු ග්‍රෑම් 100 ට සීනි ග්‍රෑම් 60 ක් වන පරිද්දෙන් මිශ්‍ර කළ යුතු අතර පසුව නැවතත් බඳුන ළිප තබා හොඳින් හැඳිගාමින් රත් කරන්න.

.පසුව බන්දේසියක අතුරා විදුලි උදුනක බහා ක්‍රිස්පි වන තෙක් වියළා, සුළං නොවදින පරිද්දෙන් බඳුන්වල දමා අසුරාගන්න.

 

******************************************

 

ලුණු රසැති ඉඟුරු පෙති

ඉඟුරු අස්වැන්න නෙළා ගන්නේ වසරේ මුල් මාස කිහිපයේය. එබැවින් අනෙක් කාලවකවානු තුළ භාවිතයට යොදා ගතහැකි පරිදි මේ නෙළාගත් ඉඟුරු ගබඩාකර තබයි.

ඊට අමතරව ඔබට ලුණු දමා වියළා ගැනීමෙන් ද මේ ඉඟුරු කල් තබා ගත හැකියි.

එලෙස සකසාගත් ලුණු මිශ්‍ර මේ ඉඟුරු පෙති ආහාර රසවත් කිරීමට ද ඉතාම පහසුවෙන් භාවිත කළ හැකියි.

ලුණු රසැති ඉඟුරු පෙති සකසන්නේ මේ ආකාරයටයි.

 

අවශ්‍ය ද්‍රව්‍ය

 

. අමු ඉඟුරු අවශ්‍ය පමණට

. ඊට ගැළපෙන සේ ලුණු

 

සාදන ක්‍රමය

 

. ගලවා ගත් අමු ඉඟුරු පස් සෝදා පැය 12 ක් පමණ

ජලයේ බහා තබන්න.

. අනතුරුව තදින් අතුල්ලා හෝ උණ පතුරක් භාවිතයෙන් පොත්ත ඉවත්කර නැවත සෝදාගන්න.

. ඉන්පසුව ඉඟුරුවල බර කිරා කැමැති හැඩයකට මිලිමීටර් 2 - 3 පමණ ඝනකමට සිටින සේ පෙති කපා බඳුනකට දමන්න.

. දැන් ඉඟුරු පෙති වැසෙන සේ ජලය දමා ඉඟුරු මෘදු වනතෙක් තම්බාගන්න.

. පසුව ළිපෙන් පිටතට ගෙන ජලය පෙරා ඉවත් කරන්න.

. බර අනුව ලුණු 15% ක් වැටෙන පරිදි එනම් ඉඟුරු ග්‍රෑම් 100 ට ලුණු ග්‍රෑම් 15 ක් වන පරිද්දෙන් ගෙන ලුණු සහ ඉඟුරු

මිශ්‍රකර නැවතත් ළිප තබා හොඳින් හැඳිගාමින් රත් කරන්න.

. ඉන්පසුව බන්දේසියක අතුරා විදුලි උදුනක දමා ක්‍රිස්පි බවට පත්වනතුරු වියළා ගන්න.

. පිටතට ගත් වියළි ඉඟුරු පෙති සුළං නොවදින සේ බෝතල්වල අසුරා පසු ප්‍රයෝජනයට තබාගන්න.

 

*********************************

ළමා කාලයේ රසය සිහිගන්වන පාට පාට ඉඟුරු ජුජුබ්ස්

පාට පාට වර්ණයෙන් නෙත පිනවනවා සේම මුවට අපුරු රසයක් එක්කරනා ජුජුබ්ස්වලට අකැමැති කවුරුද ?. විශේෂයෙන්ම පුංචි පැටවුන්ට ජුජුබ්ස් කියන්නෙ එයාලාගේ කැමැතිම රසකැවිලිවලින් එකක්.

 

මේ දවස්වල නිවෙසටම කොටුවෙලා ඉන්න පොඩිත්තන්ට රසම රස ජුජුබ්ස් ටිකක් හදලා දෙන්න පුළුවනි නම් ඒ තරම් සතුටක් තවත් නම් කොයින්ද?

ඉතින් අපි අද ඉඟුරුවලින් ජුජුබ්ස් හදන හැටි බලමු.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* ඉඟුරු යුෂ මිලි ලීටර් 30 ක්

* සීනි ග්‍රෑම් 250 ක්

* දියර ග්ලුකෝස් ග්‍රෑම් 100 ක්

* ජෙලටින් ග්‍රෑම් 30 ක්

* උණු ජලය මිලි ලීටර් 170 ක්

* ලුණු ස්වල්පයක්

* අවශ්‍ය නම් පමණක් අනුමත වර්ණක සහ කල්තබාගැනීමේ කාරක

 

සාදන ක්‍රමය

 

. ඔබ සතුව ඇත්තේ ඉඟුරු කැබැලි නම් පළමුව ඒවා හොඳින් සෝදා පොත්ත වැනි කොටස ඉවත් කරන්න. මෙහිදී ඉඟුරු කැබැලි පැය 12 ක් පමණ ජලයේ ගිල්වා තැබීමෙන් පහසුවෙන් පොත්ත ඉවත් කළ හැකියි.

. අනතුරුව පිරිසුදු කරගත් එම ඉඟුරු කැබැලි අඹරා යුෂ මිරිකා පෙරාගන්න.

. දැන් මළ නොබැඳෙන බඳුනක් ගෙන එයට සීනි ටික දමන්න.

. බඳුන ළිප තබා එයට උණු ජලය මිලි ලීටර් 100 ක් එකතු කර සීනි දියවනතුරා රත්කරන්න.

. ඉන්පසුව වෙනම භාජනයක් ගෙන ඉතිරි උණු ජලය මිලිලීටර් 70 ට ජෙලටින් ටික දමා හොඳින් දියකරන්න.

. අනතුරුව දියකරගත් ජෙලටින් ද්‍රාවණය ද ළිප මත ඇති සීනි ද්‍රාවණයට දමා හොඳින් කළවම් කරන්න.

.එයටම දියර ග්ලූකෝස් සහ ඉඟුරු යුෂ ද එකතුකර මඳ ගින්දරේ හැඳිගාමින් පිසගන්න.

. රස අනුව ලුණු ස්වල්පයක් ද මිශ්‍ර කරන්න.

. ඔබට වර්ණවත් ජුජුබ්ස් සකසා ගැනීමට අවශ්‍ය නම් කලරින් එකතු කරගත යුත්තේ මේ අවස්ථාවේදීය. එහිදී මිශ්‍රණය කොටස් කිහිපයකට බෙදා එක් එක් වර්ණක වෙන වෙනම එකතු කරන්න.

. කල් තබාගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා නියමිත රසකාරක ද එකතු කරන්න.

. මිශ්‍රණය තරමක් ඝන වෙමින් පදම පැමිණි පසු ළිපෙන් බා තැටිවලට දමන්න.

. ශීතකරණයේ පැය 08 ක් තබා හොඳින් සවි වෙන්නට හරින්න.

. අනතුරුව පිටතට ගෙන ටික වේලාවක් තබා කැමැති හැඩයකට කපා සීනි කැට ටිකක් තවරාගන්න.

**********************************

පොඩිත්තන්ට දිව පිනවන ඉඟුරු ටොෆි

ටොෆි, චොකලට්, සීනි බෝල කියන්නෙම පුංචි පැටවුන් ඉතාමත් ප්‍රියකරන රසකැවිලි. තරමක් වැඩි පැණි රසක් තිබෙන නිසා වැඩිහිටියන් එතරම් ප්‍රිය නොකළත් පුංචි පැටව් වෙලාවත් අවේලාවත් නොබලා මේ දේවල් කටට දමාගන්නටයි පුරුදු වෙලා තියෙන්නෙ.

ඉතින් මේ දිනවල වෙළෙඳසල් එතරම් විවෘත නොවන නිසා පැටවුන්ට ඒවාගේ රසකැවිලි ලැබෙන්නේ නෑ. ඒ නිසා ඔබ මේ විදිහට ඉඟුරු ටොෆි ටිකක් හැදුවොත් ඔවුන් කොයිතරම් නම් සතුටු වේවිද?

අවශ්‍ය ද්‍රව්‍ය

 

* ඉඟුරු යුෂ මිලි ලීටර් 75 ක්

* සීනි ග්‍රෑම් 75 ක්

* දියර ග්ලූකෝස් ග්‍රෑම් 65 ක්

 

සාදන ක්‍රමය

 

. අමු ඉඟුරු කැබැලි සෝදා හොඳින් අඹරා යුෂ මිරිකා ගන්න.

. දැන් මළ නොබැඳෙන වානේ බඳුනකට සීනි සහ ජලය ටිකක් දමා ළිප තබන්න.

. සීනි දියවුණු පසුව එයට දියර ග්ලූකෝස් සහ ඉඟුරු යුෂ එකතුකරන්න. මෙහිදී ඔබ දියර ග්ලූකෝස් ලෙසට වෙළෙඳපොළෙන් මිලදී ගත යුතු අතර ග්ලූකෝස් කුඩු ජලයට දමා දියකර ගැනීම සුදුසු නොවේ.

. දැන් මේ මිශ්‍රණය උෂ්ණත්වය සෙල්සියස් අංශක 160 ක් පමණ වනතෙක් රත්කර ගත යුතුය.

. ඉන්පසුව වීදුරු කුරු ආකාරයට ඇදෙන පදමට පැමිණි පසු ටොෆි මෝල්ඩරයකට දමා සවි වන්නට හරින්න.

. නැතිනම් බටර් තැවරූ ලෑල්ලකට දමා ඉරි ඇඳ තබන්න. සවිවුණු පසුව කැබැලි වෙන්කර කැමැති වර්ණයේ කොළවල ඔතාගන්න.

. මෙය ඔබට ගෘහස්ථ ස්වයං රැකියාවක් ලෙසද ආරම්භ කළ හැකියි.

*****************************

දිව නැටවෙන රසයෙන් යුතු  ඉඟුරු මිශ්‍ර අර්තාපල් දෝසි

ඉඟුරු දෝසි මතක් වෙනකොටත් දිව නැටවෙනවා නේද? ඒ තරම්ම රසවත් රසකැවිල්ලක් තමයි ඉඟුරු දෝසි කියන්නෙ.

ඒත් අපි මේ හදන්න යන්නෙ ඉඟරු දෝසි නම් නෙවෙයි. ඉඟරු මිශ්‍ර කරලා හදන අර්තාපල් දෝසි. ඇතැම් විට ඔබ රස විඳලත් නැතිව ඇති. එහෙම නම් මේ විදිහට හදල බලන්නකෝ රස කොහොමද කියලා.

 

අවශ්‍ය ද්‍රව්‍ය

* අමු ඉඟුරු ග්‍රෑම් 100 ක්

* අර්තාපල් ග්‍රෑම් 250 ක්

* සීනි ග්‍රෑම් 400 ක්

* ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

 

. අමු ඉඟුරු ටික සෝදා පොත්ත ඉවත්කර පල්පයක් ලෙසින් හොඳින් අඹරාගන්න.

. අර්තාපල් ටික ද හොඳින් තම්බා සියුම්ව පොඩි කරගන්න.

. දැන් සාදාගත් ඉඟුරු පල්පයට සහ අර්තාපල් තලපයට රස අනුව ලුණු ස්වල්පයක් එකතුකර හොඳින් මිශ්‍ර කරගන්න.

. දැන් බඳුනක් ළිපතබා එයට සීනි සහ ජලය දමා හැඳිගාන්න. මෙය පත් පැණි වනතුරා මඳ ගින්දරේ හොඳින් හැඳිගාමින් උණු කරන්න.

. අනතුරුව අල ඉඟුරු මිශ්‍රණය ද එයට එකතුකර ගුලි නොගැසෙන සේ හොඳින් හැඳි ගාන්න. ක්‍රම ක්‍රමයෙන් මිශ්‍රණය ඝනබවට පත්වන අතර එවිට බඳුන ළිපෙන් ඉවතට ගන්න.

. ඉන්පසුව තෙල් කඩදාසියක් එලන ලද තැටියකට දමා තුනීකර කැමැති හැඩයකට කපාගන්න.

 

**************************

රසට රසයි ඉඟුරු පොල් දෝසි

 

පොල් මිශ්‍ර විවිධාකාරයේ රස කැවිලි සේම අතුරුපස ඔබ කෙතරම් රස විඳි ඇතිද? පොල් කේක්, පොල් ටොෆි, පොල් මිශ්‍ර අග්ගලා ආදී වශයෙන් පොල් හෝ පොල් කිරි මිශ්‍ර රසකැවිලි බොහෝමයි.

 

ඉතින් ඒවාගේ අපි මේ කියන්න යන්නෙ ඉඟුරු මිශ්‍ර පොල් දෝසි සාදාගන්නා ආකාරයයි.

හදලාම බලන්න ඉඳුරු පොල් දෝසි ද අර්තාපල් දෝසි ද වඩා රසවත් කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය

 

* සිහින්ව ගාගත් පොල් ග්‍රෑම් 250 ක්

* ඔබට කැමැතිනම් වෙළෙඳපොළෙන්

මිලදීගත් ගාගත් වියළි පොල්

(ඩෙසිකේටඩ් පොල්) ද මේ සඳහා

භාවිත කළ හැකිය.

* අමු ඉඟුරු පල්පය ග්‍රෑම් 100 ක්

* සීනි ග්‍රෑම් 400 ක්

* රස අනුව ලුණු ස්වල්පයක්

 

සාදන ක්‍රමය

. මෙම පොල් දෝසි සකසාගන්නේ ද අර්තාපල් දෝසි සකසා ගත් ආකාරයටමයි.

. ඒ අනුව ඔබ තෝරාගත් අමු ඉඟුරුවල පොත්ත ඉවත්කර සෝදා පල්පයක් ලෙසින් හොඳින් අඹරාගන්න.

. පොල් ටික සිහින්ව ගාගන්න.

. අනතුරුව අඹරාගත් ඉඟුරු පල්පයට ගාගත් හෝ ඩෙසිකේටඩ් පොල් ටික මිශ්‍ර කරන්න.

. එයටම ලුණු තේ හැන්දක් පමණ ද එකතුකර හොඳින් මිශ්‍ර කරන්න.

. දැන් තරමක ඉඩ ඇති බඳුනක් ළිපතබා එයට සීනි සහ ජලය ටිකක් දමන්න.

. සීනි ද්‍රාවණය ළිප තබා පත් පැණි වනතෙක් මඳගින්නේ හොඳින් හැඳි ගාමින් උණු කරගන්න.

. ඉන්පසුව පොල් මිශ්‍ර ඉඟුරු මිශ්‍රණය මේ පැණි බඳුනට දමා හොඳින් කළවම් කරන්න.

. මිශ්‍රණය ඝන බවට පත්වන විට ළිපෙන් ඉවතට ගන්න.

.දැන් තෙල් කඩදාසි එලන ලද හෝ බටර් තැවරූ තැටියකට දමා තුනීකර කැමැති හැඩයකට කපාගන්න.

**********************

විඩාව දුර ලන ඉඟුරු තේ

විඩාබර මොහොතක, එහෙමත් නැතිනම් දවසේ වැඩ කටයුතු අහවරවන සවස් යාමයක ගත සිත විඩාව සංසිඳවන්නට ඉඟුරු මිශ්‍ර තේ කෝප්පයකට ඇත්තේ පුදුමාකාර හැකියාවකි. බොහෝ දෙනෙකුට ආහාර වේලකින් නොලැබෙන අපූරු ජවයක්, උත්තේජනයක් මේ තේ කෝප්පයකින් ලබාගත හැකිවීම පුදුමයක් නම් නොවේ.

සාමාන්‍යයෙන් වැඩිදෙනකු පුරුදු වී ඇත්තේ තේ කොළ තම්බා ගැනීමේ දී එයට තළාගත් ඉඟුරු කැබැල්ලක් එකතු කිරීමටයි.

එහෙමත් නැතිනම් තේ කෝප්පයක් සකසා එයට ඉඟුරු කැබැල්ලක් තළා දැමීමටයි.

නමුත් ඊට වඩා පහසු සහ ක්‍රමවත්ව ඉඟුරු තේ එකක් සකසා ගන්නා ආකාරය ගැනයි අප මේ පවසන්නේ. එහිදී ඉඟුරු තලා දැමීම අවශ්‍ය නොවන අතර අමු ඉඟුරු තම්බා පෙති කපා වියළා විජලිත ඉඟුරු සකසා ගන්න. අනතුරුව මේ වියළි ඉඟුරු ග්‍රයින්ඩරයක් ආධාරයෙන් කුඩු බවට පත්කර තේ කොළ සමඟ මිශ්‍ර කරන්න.

ඉන්පසුව සුපුරුදු ආකාරයට තේකොළ තම්බා ගත්විට ඉඟුරු රසැති අපූරු තේ කෝප්පයක් ඔබට රසවිඳිය හැකියි.

ඔබට මේ ඉඟුරු කුඩු මිශ්‍ර තේ කොළ ටී බෑග් ලෙසින් අසුරා ගත හැකි නම් එය වඩාත් පහසුවකි. වෙළෙඳපොළට වුවද ඉදිරිපත් කළ හැකියි.