උපන්දිනය සරසන්න හැඩැති කේක්

සිඟිති පුතුට කාර් කේක්
ජූලි 21, 2021

 

ඔබ අප කාටත් කෝවිඩ් 19 වසංගතයත් සමඟ ජන ජීවිතය ගෙනයන්න සිදුවෙලා. ඉතිං මේ තත්ත්වය මත ජීවිතයේ සුවිශේෂී දින වකවානු පැමිණියත් ඒවා උත්කර්ෂවත් ලෙස නෑ හිත මිතුරන් මධ්‍යයේ සමරන්නත් අපට බැහැ.

නමුත් ඔබේ ඒ ආදරණීයයන් වෙනුවෙන් අමතක නොවන සිහිවටනයක් ලබාදෙන්නට ඔබට පුළුවන්. බලන්න මේ කේක් නිර්මාණ. මෙහි ඇති කාර් එකකක රුවින් හැඩවුණු කේක් නිර්මාණය පුංචි පුතකුගේ උපන් දිනය වෙනුවෙන් නිමවූවක්.

 

අවශ්‍ය ද්‍රව්‍ය

මෙම කේක් එක සෑදීම සඳහා ග්‍රෑම් 500ක රවුම් කේක් දෙකක් අවශ්‍ය වේ.

ඒ සඳහා,

සීනි ග්‍රෑම් 500ක්

බටර් ග්‍රෑම් 250ක්

පිටි ග්‍රෑම් 240ක් (කෝන්පිටි වඩාත්

සුදුසුයි)

බිත්තර 5ක්

වැනිලා අවශ්‍ය පමණ

කිරිපිටි මේස හැන්දක්

බේකිං පවුඩර් තේ හැඳි 2 ක්

 

සාදන ක්‍රමය

 

පළමුව බඳුනකට සීනි සහ බටර් දමා හොදින් බීට් කරගන්න. සීනි කැට දියවූ පසු එයට බිත්තර එක්කරන්න. බිත්තර ද හොඳින් බීට් වූ පසු එයට වැනිලා එකතු කරන්න. ඉන්පසු පිටි සහ බේකිං පවුඩර් එකට මිශ්‍රකර හලාගන්න. දැන් පිටි මිශ්‍රණය සීනි මිශ්‍රණයට එකතුකර බීට් කරන්න. ඉන්පසු ග්‍රෑම් 500 රවුම් කේක් තැටි දෙකක් ගෙන එහි යටට තෙල් කඩදාසි දමා එම දෙකට කේක් මිශ්‍රණය දමන්න. ඉන්පසු ඔබට කැමැති වර්ණයකින් කේක් දෙක මාබල් කරගන්න. එය සිදුකරනු ලබන්නේ කේක් එකෙහි උඩ තැනින් තැනට කලරින් බිංදු කීපයක් දමා එම තැන්වල කුඩා සිදුරු සාදා කේක් මිශ්‍රණයේ පහතට වර්ණය විහිදීයන ආකාරයටයි.

පසුව සෙල්සියස් අංශක 180 ක උෂ්ණත්වයෙන් අවන් එක විනාඩි 5ක් පමණ රත්කර කේක් තැටි දෙක දමා නැවතත් විනාඩි 45 - 50ක අතර කාලයක් බේක්කර ගන්න.

 

අයිසිං සාදාගැනීම සඳහා

බටර් ග්‍රෑම් 250කට අයිසිං සීනි ග්‍රෑම් 750ක් දමා එයට වැනිලා ස්වල්පයක් ද එකතුකර බීට් කරගන්න. අවශ්‍ය නම් ගැනීමට තවත් අයිසිං සීනි වෙනම තබාගන්න.

 

කාර්එක සාදාගැනීම

 

ඒ සඳහා සාදාගත් කේක් දෙක ගෙන කාර්එකක හැඩයට කපාගන්න. ඉන්පසු එම කොටස් එකින් එක බටර් අයිසිං යොදාගනිමින් සැන්ඩ්විච් කරගන්න. ඉන්පසු කාර් එකෙහි වීදුරු සුදු පාටින් නොම්බර 16 නොසල් එකෙන් පුරවන්න. ඉන්පසු අයිසිං කොටසකට රතුපාට කලරින් දමා රතුපැහැති අයිසිං සාදාගන්න. දැන් නොම්බර 17 නොසලයෙන් කාර් එකෙහි රතුපාට කොටස් අයිසිං කරගන්න. බල්බ් සඳහා කහ පැහැති පෙබල්ස් තබන්න. රෝද සදහා බිස්කට් තබා ඇති අතර එම බිස්කට් මැදින් නොම්බර 03 නොසලයෙන් දුඹුරු පාටින් රවුමට අයිසිං කරන්න. කාර් එකෙහි ඇතුළත මුහුණු සඳහාත් බිස්කට් අලවා ඇති අතර එහි මැදට නොම්බර 02 නොසලයෙන් ඇස්, කට තබන්න.

ඉන්පසු කොළ පැහැති අයිසින් ස්වල්පයක් ග්‍රාස් නොසලයට දමා තණකොළ ආකාරයට කාර් එකෙහි යටින් අයිසිං කර එයට වර්මසෙල් ටිකක් ඉසින්න. කාර් එකෙහි උඩට කේක් ටොපප් තබා අලංකාර කරගන්න. ඔබට අවශ්‍ය පරිදි මෙහි වර්ණයන් වෙනස් කළ හැකිය.

 

උපදෙස් -

ප්‍රවීණ කේක් නිර්මාණ ශිල්පිනී

තෙයාගි ගමගේ