රුවට වින කරන අලුහම් පහසුවෙන් කළ හැක සමහන්

දෙසැම්බර් 19, 2018

කාන්තාවක සතු සුන්දරත්වය එකිනෙකට වෙනස් ය. එහෙත් සොඳුරු රුවකට නිකැලැල් සමක් නම් අනිවාර්යයෙන් ම තිබිය යුතුය. සමේ කැලැල් ඇති වීම විවිධ වූ හේතූන් නිසා සිදු වන්නකි. මේ අතර විවිධ වූ රෝගාබාධයන් ද ඇත. ඇතැම්හු මෙම ලප කැලැල් රෝගයක් බව ද නොදනිති.

අතීතයේදී ගෝමර ලෙස හැඳින් වූ සමේ පවතින කැලැල් විශේෂය කාන්තා රූ සපුවට සිදු කරන හානිය සුළුවෙන් තැකිය නොහැකිය. අද වන විට මෙය දිලීර වර්ගයක් සමේ වර්ධනය වීම නිසා සිදුවන තත්ත්වයක් බව හඳුනාගෙන ඇති අතර ඒවා අළුහම් ලෙස හඳුන්වයි.

අලුහම් පිළිබඳ වැඩි සැලකිල්ලක් නොදැක්වුවහොත් එය සිරුර පුරාම වර්ධනය වී අවලස්සන පෙනුමක් ඇති කළ හැකිය. අලුහම් වර්ග කිහිපයකි. සුදු අළුහම්, කළු සහ දුඹුරු පැහැයක් ලෙසින් වර්ණ අනුව මේ අළුහම් වෙනස් විය හැකියි. මෙම තත්ත්වය කාන්තා පිරිමි දෙපාර්ශවයට ම ඇතිවීමේ ස්වභාවයක් පැවතිය ද කාන්තාවන් අතර වැඩි වශයෙන් ඇති වේ.

මුහුණ, පපුව, ගෙළ දෙපස, දෙඅත්, උදරය සහ ඉඟ පෙදෙසේ මේවා වැඩියෙන් ව්‍යාප්ත වේ. අළුහම් සෑදීම සඳහා වයස් සීමාවක් නැති අතර ඕනෑම වයසක පුද්ගලයකුට ඇති විය හැකි චර්ම රෝගයකි. සාමාන්‍යයෙන් වැඩියෙන් දහදිය දමන පුද්ගලයන් අතර බහුලව දැකිය හැකි රෝගයකි. මෙම දිලීරය මඟින් සමේ තැනින් තැන දිරායාමක් සිදු වන බව පැවසේ.

අලුහම් රෝගයේ ලක්ෂණ:

* සාමාන්‍ය සම හා අලුහම් වෙන් වෙන් වශයෙන් ඉතා පැහැදිලිව දැකිය හැකියි.

* අලුහම් ඇති ස්ථානය අතින් සීරූ විට කුඩු කුඩු මෙන් සුදු පැහැයට ගැළ වී යයි.

* දහදිය දමන විට කැසීමක් ඇති වේ. දහදිය දැමූ විට මෙම පැල්ලම් පැහැදිලිව දිස් වේ.

* සමේ පැහැයට වඩා අඩු පැහැයකින් මෙම ලප දිස් වේ.

ඇතිවීමට හේතු:

* ජානමය හේතුන්

* හිරු එළියට නිරාවරණය නොවීම

* ස්නානයෙන් හෝ ශරීරය සේදීමෙන් පසුව හොඳින් සම පිසදා නොගැනීම

* සිරරේ නිතර තෙත් බවක් රඳා තිබීම

* කොට්ට උර, ඇඳ ඇතිරිලි පිරිසුදුව නොතැබීම

* කෘත්‍රිම ආහාර පාන වැඩි වශයෙන් ගැනීම

* බ්ලීචිං අඩංගු බොඩි ලෝෂන් ගැල්වීම

* තෙත ඇඳුම් ඇඳීම

* රුධිරයේ ඇති උෂ්ණාධික බව හා ප්‍රතිශක්තිය දුර්වල වීම

ප්‍රතිකර්ම:

* ඇත්තෝර කොළ දෙහි ඇඹුල් යුෂ සමඟ අඹරා අලුහම ඇතිතැන ආලේපකොට එය වියළුණු පසුව සෝදා හරින්න.

* පෙති තෝර කොළ හා අමු කහ, දෙහි සමඟ මිශ්‍රකොට ආලේපකර එය වියළුණු පසුව සෝදා හරින්න.

* පේර දළු දෙහි ඇඹුල් සමඟ අඹරා ආලේප කරන්න.

* හෙන්දිරික්කා කොළ පොල්තෙල්වලින් අඹරා ආලේප කරන්න.

මෙම ප්‍රතිකර්ම අවම වශයෙන් සතියකට දින 3 ක් වත් මාස තුනක පමණ කාලයක් සිදු කළ යුතු අතර ස්ථිර ලෙසින්ම අලුහම්වලින් තොර නිකැලැල් සමක් ඔබට ලබා ගත හැකියි.

 

 

උපදෙස්

ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර