වැඩිහිටි වයසේත් සුන්දරව සිටින්නට නම්

දෙසැම්බර් 19, 2018

කාන්තාවක් කියන්නේ හැම විටෙකම ලස්සනට සිටිය යුතු කෙනෙක්. බාල කාලයේ දී දියණිය ලස්සන කරන්න මව වෙහෙසෙනවා. තරුණවියේ දී තමාගේ රුව ගැන වැඩියෙන් හිතන්න කොයි කවුරුත් උනන්දු වෙනවා. ඒත් මැදිවියේදි මෙන්ම මහලු වියේදිත් බොහෝ දෙනා එය අතැර දැමීමට පෙලඹෙන්නේ එය තමන්ට නුසුදුසු දෙයක් බව සිතාගෙනයි.

එහෙත් තවත් වැඩිහිටි කාන්තාවන් පිරිසක් රුව හැඩකර ගැනීමට අනවශ්‍ය ලෙස මේක්අප් කිරීමෙන් සමාජයේ අවඥාවට පවා ලක්වන අවස්ථා ඔබත් දැක ඇති. වැඩිහිටි වියට ගැළපෙන ලෙසින් ගෞරවනීය බව රැකෙන අයුරින් මේක් අප් එකක් සිදුකරන ආකාරය අද අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.

මේක් අප එකක් කිරීමේදී සැලකිය යුතු කාරණා කිහිපයක්ම තිබෙනවා.

මේ අතරින් එක් සාධකයක් වන්නේ අප සහභාගිවන උත්සවය පවත්වන වේලාවයි. එය උදේ කාලයේ පැවැත්වෙන්නේ නම් ලයිට් මේක් අප් එකක් හා සවස් කාලයේ පැවැත්වෙන්නේ නම් තරමක් තද වර්ණවලින් යුතු හෙවි මේකප් එකක් සිදු කළ හැකියි.

දෙවනුව අප සහභාගිවන උත්සවය පැවැත්වෙන ස්ථානය පිළිබඳ අප දැනුවත් විය යුතුයි. උත්සවය එළිමහනක හෝ ස්වාභාවික ආලෝකය ලැබෙන ස්ථානයක පවත්වන්නේ ද නැතිනම් ශාලාවක් තුළ කෘත්‍රිම ආලෝකය යටතේ පවත්වන්නේ ද යන්න අනුව අප භාවිත කරන මේක් අප් එක වෙනස් කළ යුතු වෙනවා.

ඉන්පසු බැලිය යුතු වන්නේ තමා යන්නේ කුමනාකාර උත්සවයකට ද යන්නයි. පොතක් එළිදැක්වීමක් වැනි සාමාන්‍ය උත්සවයකට ද නැතිනම් සිනමා සම්මාන උළෙලක් වැනි උත්කර්ෂවත් අවස්ථාවකට ද යන්නයි.

තමා සාමාන්‍ය ගමනක් බිමනක් යාමේදී දමන මේක් අප් එකක් නම් එය තමා යන්නේ දරුවන්ගේ පාසලට ද, නැතිනම් දානේ ගෙදරක ද වෙනත් මිතුරු හමුවකටද ලෙසින් සිතා ඒ අනුව සරල මේක් අප් එකක් සිදු කළ යුතුයි.

ඉන්පසුව සලකා බැලිය යුත්තේ තමාගේ වයස පිළිබඳයි. ළාබාල යුවතියක් නම් ඉතාම අඩුවෙන් හා ළා පැහැයන්ගෙන් යුතු මේක් අප් එකක් දැමිය යුතුයි. එසේ නැති වූ විට ළමා පෙනුම නැති වී වයසට වඩා වයස බවක් පෙනීම වළක්වන්නට බැහැ. තරුණියකට තද පැහැති වර්ණවලින් යුත් මේක් අප් එකක් සිදු කළාට කිසිදු වරදක් නැහැ. එහෙත් වයසට ගිහින් ලොකු මේක් අප් දැමීම නම් සුදුසුම නැති තරම්.

වැඩිහිටි කාන්තාවන් ලිප්ස්ටික් ගැල්වීමේදි එයට උඩින් දිලිසීමක් ගෙන දෙන ලිප් ග්ලොස් ආලේප කිරීම නුසුදුසුයි. ඒවාගේම කළු පැහැයෙන් ලිප් ලයින් කිරීමත් සුදුසු දෙයක් නොවෙයි.

ෆවුන්ඩේෂන් අලේප කිරීමේදී හැකි තරම් අවමයෙන් ඒවා ආලේප කළ යුතුයි. නැතිනම් සමේ පවතින රැලි තත්ත්වය වඩාත් කැපී පෙනෙන්නට පුළුවන්.

පවුඩර් වැඩි වශයෙන් ආලේප කිරීමෙන් ද ඇති වන්නේ මෙවැනිම වූ තත්ත්වයක්.

මේක් අප් කිරීමේදී පළමුවෙන් ම මුහුණ හොඳින් සෝදා තෙත මාත්තුකර මොයිස්චර්රයිසර් ක්‍රීම් ස්වල්පයක් මුහුණේ ආලේප කරන්න. මෙය සමට උරා ගන්නා තෙක් ස්වල්ප වේලාවක් හිඳ ටිෂූ එකකින් යන්තමින් පිස දමා වැඩි මොයිස්චර්රයිසර් ඇත්නම් ඉවත් කරන්න. දැන් ෆවුන්ඩේෂන් ස්වල්පයක් ආලේප කරන්න. පවුඩර් ද ඉතා ස්වල්පයක් ආලේප කරන්න. නැතිනම් මුහුණට කෘත්‍රිම පෙනුමක් ලැබිය හැකියි.

මෙහිදී තමාගේ සමේ වර්ණයට ගැළපෙන වර්ණයකින් ෆවුන්ඩේෂන් හා පවුඩර් ආලේප කළ යුතුයි. නැතිනම් මුහුණට කෘත්‍රිම හා මලානික ස්වභාවයක් එක්විය හැකියි. සමට ගැළපෙන වර්ණය තෝරා ගැනීමෙන් දීප්තිමත් බවක් හා වයසට වඩා තරුණ පෙනුමක් ලබා ගැනීමට පුළුවන්.

අයි මේක් අප් එකේදි ඇහිබැමි වයසත් සමඟ අඩු වන නිසා කළු පැහැති අයිබ්‍රෝ පැන්සල්වලින් ඇඳීම හොඳ නැහැ. ඒ වගේම තනි ඉරකින් ඇහි බැම ඇඳීමත් අනවශ්‍ය ලෙස දිගට ඇඳීමත් නුසුදුසුයි. ඇහි බැමි ඇඳීමට තද දුඹුරු පැහැති පැන්සලක් භාවිතකර කඩ ඉරිවලින් ඇහි බැම ඇඳීම වඩාත් සුදුසුයි. මෙය ද ළා පැහැයෙන් ගෑමෙන් ස්වභාවික පෙනුමක් ලබා ගතහැකියි. තරුණියන් මෙන් 'ඍ' ෂේප් එක ලෙස ඇහිබැම සැකසීම ද එතරම් සුදුසු දෙයක් නොමෙයි.

අයි ෂැඩෝ ආලේප කරන විට හැකිතරම් ඥචපබඩ ජධතධභපඵ නැතිනම් ස්වභාවික පැහැයන් තෝරා ගන්න. එවිට ස්වභාවික පෙනුමක් ලබාගත හැකියි. කම්මුල්වල බ්ලෂර් කැපී පෙනෙන ආකාරයෙන් ආලේප නොකිරීමට ද වගබලා ගන්න. ඒවා ආලේප කළ යුත්තේ පෙනෙන නොපෙනෙන ලෙසයි.

මේ ආකාරයට මේක් අප් කිරීමෙන් ගෞරවණීය එමෙන්ම සොඳුරු බව රැඳුණු වැඩිහිිටි කාන්තාවක ලෙසින් ඔබට සමාජය ඉදිරියේ පෙනී සිටිය හැකියි.

උපදෙස් - ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනි

ස්විනීතා කොතලාවල