කෙස් කලඹට ස්වාභාවික සත්කාරයක්

දෙසැම්බර් 19, 2018

කාන්තාව සැම විටම මූලික තැනක් දෙන්නේ ඇගේ කෙස් කලඹටයි. එම නිසා වැඩි දෙනෙක් මිල අධික ආලේපනයන්, සත්කාරයන් ඒ සදහා භාවිත කරනවා.

නමුත් දැන් ඔබට ඒ සදහා ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගෙනම මේ කන්ඩිෂන් මාස්ක් එක නිවෙසේදීම සකසා ගන්න පුළුවන්.

කෙස් ගස වියළි වූ විට හිස් කබල කැසීමට පටන් ගෙන එයින් හිස්හොරි ඇතිවනවා. මෙම තත්ත්වයෙන් පාලනය වීමට කෙස් ගසට මනා තෙතමනයක් අවශ්‍යයි. එම පෝෂණය ක්‍රම දෙකකට අනුව ලබා දීම කළ හැකියි.

1. Condition Mask
2. Deep Condition


සාමාන්‍යයෙන් කන්ඩිෂන් මාස්ක් එකක් දමන විට හිස් කබලට නොවදින සේ, කෙස් කලඹින් කොටස් ටික ටික රැගෙන එය දමනු ලබයි. එහිදී බ්‍රෂ් එකකින් මාස්ක් එක අතුල්ලා අතින් කෙස් ගස් උඩට පහළට පිරිමැදීම සිදු කරයි. නමුත් දෙවැනි ක්‍රමයේදී මාස්ක් එක හිස් කබලට ගැල්විය හැකියි. මෙම ක්‍රියාවලින් දෙකෙහිම මාස්ක් එක සඳහා විවිධ රසායනික ද්‍රව්‍ය යොදන බැවින් අසාත්මිකතා ද ඇතිවිය හැකියි. එබැවින් ඒ සඳහා ස්වාභාවික අමුද්‍රව්‍ය යොදා ගනිමින් නිවෙසෙහිම සත්කාර කිරීම ආරක්ෂිත වේ.

ඕනෑම සත්කාරයක් කිරීමට ප්‍රථම ෂැම්පු දමා හොඳින් හිස සෝදා ගත යුතුයි. එවිට කෙස් ගසේ කි්‍යුටිකල් විවෘත වී පෝෂණය සහ තෙතමනය පහසුවෙන් උරා ගැනීම සිදුවේ. මෙම මාස්ක් එක ක්‍රම තුනකට සැකසිය හැකියි.

පළමු ක්‍රමය

ඒ සඳහා කිරි කෝප්ප 2 ක්, ආමන්ඩ් තෙල් මේස හැඳි 2 ක් සහ කෙසෙල් ගෙඩි 2 ක් සූදානම් කර ගන්න. සූදානම් කර ගත් මේ ද්‍රව්‍ය සියල්ල බ්ලෙන්ඩරයට දමා බ්ලෙන්ඩ් කර ගන්න. දැන් එම මිශ්‍රණය ගෙන හිස් කබලේ සහ කෙස් ගස්වල උඩ අතට සහ යට අතට හොඳින් තවරා පිරිමදින්න. ඉන් පසු කෙස් කලඹ උඩ අතට අල්ලා, කෙස් කලඹ වැසෙන සේ කපු රෙද්දකින් හොඳින් ඔළුව ගැටගසන්න. පෝෂණය සහ තෙතමනය හිසට සහ කෙස් කලඹට උරා ගැනීමට අවශ්‍ය නිසා විනාඩි 20 ක කාලයක් තබා සෝදා හරින්න.

දෙවැනි ක්‍රමය

බිත්තර කහ මද 2 ක්, පොල් තෙල් මේස හැඳි 2 ක් සහ දිනක් පෙඟෙන්නට තැබූ උළුහාල් තේ හැඳි 2 ක් මේ සඳහා අවශ්‍ය වේ. මේ ද්‍රව්‍ය සියල්ල බ්ලෙන්ඩ් කර ගන්න. පෙර පරිදිම හිසෙහි සහ හිස කෙස්වල ගල්වා විනාඩි 20 කින් සෝදා හරින්න.

තෙවැනි ක්‍රමය

යෝගට් මේස හැඳි 2 ක්, දිනක් පෙඟෙන්නට තැබූ උළුහාල් මේස හැඳි 2 ක්, ලෙමන් යුෂ මේස හැඳි 2 ක් සහ මී පැණි මේස හැඳි 1 ක් මේ සඳහා සූදානම් ක ගන්න. පෙර පරිදිම මේ ද්‍රව්‍ය සියල්ල බ්ලෙන්ඩ් කර හිස් කබලෙහි සහ හිස කෙස්වල ගල්වන්න. ඉන්පසු විනාඩි 20 කින් සොදා හරින්න.

මේ මාස්ක් එක හරහා ඔබටත් හිස්හොරි රහිත දිදුලන කෙස් කලඹක් හිමිකර ගත හැකියි.

උපදෙස් - රූපලාවණ්‍ය ශිල්පිනී දිල්කා මාටින්

සැලෝන් දිල්රු

මොරටුව