හිස කෙස්වල නිරෝගී බවට ෂැම්පූ භාවිතය

දෙසැම්බර් 26, 2018

හිසකෙස්, කාන්තාවකගේ පෙනුමට වැඩි ලස්සනක් ගෙන දෙන අංගයක්. කාන්තාවන්ට පමණක් නොව, පිරිමින්ට පවා හිසකෙස්වලින් ගෙන දෙන්නේ කඩවසම් පෙනුමක්. කෙනකුගේ පෙනුමේ වැඩි අවධානයක් ලැබෙන අංගයක් ලෙසින් කෙස් කලඹ හඳුන්වන්න පුළුවන්.

ඒ නිසාම කෙස් කලඹ සම්බන්ධ ගැටලු සම්බන්ධයෙන් ද බොහෝදෙනා පිළිතුරු සොයනවා. ඇතැම් අය නොදැනුවත් බව නිසාත් තවත් සමහරු නොසැලකිල්ල නිසාත් කෙස් කලඹ සම්බන්ධයෙන් ගැටලු ඇතිකර ගනියි. එහෙත් තමා කෙස් කලඹ සඳහා සත්කාර කළ යුත්තේ කෙසේදැයි දැන ගැනීම සෑම අයකුට ම වැදගත් ය. එමඟින් කෙස් කලඹ නිසි ලෙස රැක බලා ගැනීමට හැකියාව ලැබේ.

කෙස් ගසට සාත්තු කිරීමේ දී අපි හිස් කබලේ මතුපිට ස්වභාව ගැන පවා අවධානය යොමු කළ යුතුය. අපි හිස සේදීමට සේදුම්කාරක භාවිත කරන්නේ කිසිදු වග විභාගකින් තොරවයි. සබන් ගා හිස සේදීම කෙසේවත් අනුමත කළ නොහැකියි. මන්ද සබන්වල කෝස්ටික් සෝඩා වැනි දේ ඉහළ ප්‍රතිශතයකින් ඇතුළත් විය හැකියි. එමෙන්ම සබන් යනු හිස සේදීම පමණක් නිපදවූවක් නොවේ. ඒවා අරමුණු කිහිපයක් උදෙසා නිපදවූ දෙයකි. එමනිසා ඝන ද්‍රව්‍යයක් වන සබන් ආලේප කිරීමේ දී ඒවා හිසකෙස්වල කැබැලි ලෙස තැන්පත් විය හැකිය. හිස සේදීමේ දී පවා ඒවා නිසි ලෙස ඉවත් නොවී තිබීම නිසා ඉන් කෙස් කලඹට මෙන්ම හිස්කබලට පවා හානි විය හැකිය.

ෂැම්පූ ගල්වන්නේ ඇයි?

ෂැම්පූ යනු හිසකෙස් සේදීම සඳහාම නිෂ්පාදනය කරන ලද දෙයකි. එහි මූලික අරමුණ කෙස ්කලඹ පිරිසුදු කිරීමයි. ඒ නිසා ඒවා නිපදවා ඇත්තේ එම අරමුණ නිසි පරිදි සාක්ෂාත් කරගත හැකි පරිද්දෙනි. ෂැම්පූ දමා හිස සේදීම නිසා යම් යම් ගැටලු පැන නගින බවට ඇතැම් අය තුළ ඇති අදහස නිවැරැදි වූවක් නොවේ. ෂැම්පූ යොදා හිස සේදීමේ දී යම් දෝෂයක් වේ නම් එය සිදු වන්නේ එය නිසියාකාරව සිදු කිරීමට ඔබට ඇති නොහැකියාව හා නොදැනුවත් බව නිසයි.

හිසකෙස් සේදීමට ෂැම්පූ භාවිත කළ විට හිසකෙස් දුර්වල වෙන බවටත්, වඩාත් සිනිඳු බවක් ඇති වෙන බවටත් ඇතැම් අය තුළ වැරැදි මත ඇති වී තිබේ. එසේ වන්නේ තමාට සුදුසු ආකාරයේ ෂැම්පු හා කන්ඩිෂනර් භාවිත නොකිරීම, ෂැම්පූ පමණක් යොදා හිස සේදීම, ෂැම්පූ කිරීමෙන් පසුව කන්ඩිෂනර් භාවිත නොකිරීම, නිසි ලෙස කෙස් කලඹට සත්කාර නොකිරීම යන හේතු කාරණා නිසයි.

අපි ෂැම්පූ ගල්වා හිස සෝදන්නේ හිසකෙස් හා හිස් කබල පිරිසුදු කරගැනීමේ අරමුණෙනි. මේ කටයුත්ත නිසි ලෙස සිදුකර ගැනීමට නම් වඩාත් සුදුසු වන්නේ ෂැම්පු ය. මන්ද ෂැම්පූ දියර ස්වරූපයෙන් තිබෙන නිසා කෙස් මුල්වලට පවා හොඳින් ගැල්විය හැකි වීමයි.

 

2018/12/26 තරුණි පුවත්පත බලන්නයන්ති උඩුගම්පල