40 න් පසු රුව ගැටලු

ජනවාරි 2, 2019

සම අවපැහැ වෙලා

ප්‍රශ්නය - මම අවුරුදු 66 ක මවක්මි. රුව ගැන ගොඩාක් සැලකිලිමත් වන කෙනෙක්. නමුත් දැන් අවුරුදු 3 කට කලින් මගේ සැමියාගේ අසනීපය නිසා වෙලාවට කන්න, නිදියන්න, මුහුණට සත්කාර කරන්න කාලයක් තිබුණේ නැහැ. මා රෝහලේමයි දවස ගත කළේ. රෝහලේ ඒඛ් කාමරවල ඉන්න මට ගොඩක් අපහසු වුණා. මා නිදි මරාගෙන සැමියාගේ දුක සැප සොයා බැලුවා. සැමියා මිය ගියා. මා මානසිකව වැටුණා. මම ලෙඩෙක් වුණා. මම මානසික රෝගියෙක් වුණා.

මුහුණ කළු පැහැ වුණා. නහය උඩ වගේම මුහුණේ ලප ආවා. මාගේ වයස 66ක් වුණත් කිසි කෙනෙක් පිළිගත්තෙත් නැහැ. මට ඊට වඩා තරුණ පෙනුමක් තිබුණේ. නමුත් සැමියාගේ වියෝවත් සමඟ මම එක පාරටම වයසට ගිහින් වගේ කියලා දැන් හැමෝම කියනවා. මට තිබුණේ සුදු පැහැ සමක්. නමුත් දැන් මගේ සම කළු පැහැ වෙලා. මගේ රුව කණ්ණාඩියෙන් දකින විට මට විශාල දුකක් ඇති වෙනවා. විශේෂයෙන්ම නහය උඩ ඇති කළු ලප කැපිලා පෙනෙනවා. මෙය යළි යථා තත්ත්වයට පත්කර ගැනීමට ප්‍රතිකර්මයක් තිබේ ද?

කළුගමුව - රොඩ්රිගෝ

පිළිතුර

ඔබගේ ගැටලුවට අනුව මෙම තත්ත්වය ඔබට ඇති වී තිබෙන්නේ ඔබ කාලයක් පුරාවට ආතතියෙන් පසු වීමය. එමෙන්ම රාත්‍රී ගණනාවක් නිදි වැරීම, තමාගේ පෝෂණය පිළිබඳ උනන්දු නොවීම වැනි ගැටලුත් රුවෙහි පැහැපත් බවට ඍජුවම බලපානවා. ලස්සන රූ සපුවකට රූපලාවණ්‍ය සත්කාර වගේම සිතෙහි සතුටත්, මනසෙහි සුවපත් භාවයත් අතිශයින්ම වැදගත්.

ඔබට ඇති වී තිබෙන්නේ පිග්මන්ටේෂන් තත්ත්වයකි. මෙම තත්ත්වය අධික ආතතිය වගේම ජානමය හේතු නිසාත් ඇති වෙන්න පුළුවන්.විශේෂයෙන් ඔසප් චක්‍රය නැවතීමත් සමඟ සිදුවන හෝර්මෝන වෙනස් වීමත් පිග්මන්ටේෂන් තත්ත්වයට හේතුවක් වනවා. එසේම ඔබ මැදිවිය පසු කරමින් සිටින කාන්තාවක් නිසා මේ තත්ත්වය සාමාන්‍ය තත්ත්වයකි.

එහෙත් විවිධ සත්කාර භාවිතයෙන් මෙය යළි යථා තත්ත්වයට පත්කර ගත හැකියි. ඒ වගේම සමේ අව පැහැය ඉවත්කර ගැනීමට ඔබට කෝමාරිකා, ඔලිව් තෙල් වැනි ස්වාභාවික අමුද්‍රව්‍ය භාවිත කරන්න පුළුවන්.

පිග්මන්ටේෂන් තත්ත්වය නිසි ආකාරයෙන් ඉවත්කර ගැනීමට නම් ඒ සඳහා රූපලාවණ්‍ය ශිල්පිනියක වෙත යා යුතුයි. එහිදී සමෙහි මැරුණු සම ඉවත් කර අදාළ සත්කාරයන් සිදු කරනු ලබයි.

 

2019/01/02 තරුණි පුවත්පත බලන්න.