‘කික්කිස’ හෙවත් ස්ට්‍රෙච් මාක්ස් නැතිකර ගන්න ආයුර්වේද පිළියම්..

ජනවාරි 2, 2019

සිහින් හැඩැති සිරුරක් බොහෝ කාන්තාවන්ගේ සිහිනයයි. මේ වෙනුවෙන් නොයෙකුත් පිළියම් කිරීමට ද වෙහෙසෙන්නේ ඒ නිසයි. එහෙත් කුමන හෝ හේතුවක් මත සිරුර මහත් වුවහොත් නැවතත් එය සිහින් වීමේ දී සමේ ඇදීම් ලකුණු ඇති වේ.

මෙය විශේෂයෙන් කාන්තාවන් බොහෝ දෙනකුට තමාගේ රූ සපුවට බලපෑම් ඇති කරන රූපලාවණ්‍ය ගැටලුවක් ලෙස හැඳින්විය හැකියි. මෙහිදී සිදු වන්නේ සම වැඩියෙන් ඇදීමකට ලක්වීම නිසා සිරුරේ නොයෙක් ස්ථානවල සුදු පැහැති ඉරි ඇතිවීමයි. මෙය ආයුර්වේදයේ කික්කිස ලෙසින් හැඳින් වේ. මෙහිදී සිදු වන්නේ සමෙහි ඇති ඇදෙන සුලු බව නැති වීමයි. දෑත්වල ඉහළ කිහිළි ආශි‍්‍රත ප්‍රදේශය, ඉණ, උදරය, පියයුරු, කලවා වැනි ප්‍රදේශවල වැඩි වශයෙන් දක්නට ලැබේ.

මේවා බොහෝ විට ඇතිවන්නේ,

* තරබාරු බව නිසා

* ගර්භණී සමයේ දී උදරයේ

සම ඇදීමකට ලක්වීම

* තදින් කැසීම නිසා

* බර එසවීම

* හෝමෝන වෙනස් වීම

* සම තදින් ඇතිල්ලීම

* ඌෂ්ණාධික බව ආදිය නිසයි.

මෙම තත්ත්වය වළක්වා ගැනීම සඳහා,

* විශේෂයෙන් තරබාරු බව පාලනය කිරීම

* සමේ පෝෂණයට හා සම ශක්තිමත් වීමට අවශ්‍ය සින්ක්, විටමින් වැනි පෝෂණීය ආහාර ගැනීම

* වැඩිපුර දියර වර්ග ගැනීම

* සමේ තෙතමනය ආරක්ෂා කරගැනීම

* එම ස්ථාන නිතර මොයිස්චර්රයිසර් ක්‍රීම් වර්ගයක් හෝ තෙල් වර්ගයක් ආලේපකර හොඳින් පිරිමැදීම

* සමේ වියළි බව නැති කිරීම සිදු කළ හැකියි.

මේ සඳහා ආයුර්වේද ප්‍රතිකාර

* සුදු හඳුන් හා සැවැන්දරා කුඩුකර ඒවා පොල්වතුර සමඟ මිශ්‍රකර ගන්න. එම ආලේපය සමේ ඉරි ඇති ස්ථානවල ආලේපකර සතියකට දින තුනක්වත් ස්ක්‍රබ් කරන්න.

* කොහොඹ කොළ, තල තෙල්, හීං මදුරුතලා, ඔලිව් තෙල්වලින් අඹරා එම ස්ථානවල ආලේපකර

වියළුණාට පසුව සෝදන්න.

* සාරණ, සමන්පිච්ච, වෙනිවැල්, වැල්මී එකට දමා තම්බා එම වතුරෙන් සෝදන්න.

* දුම්මැල්ල, කොහොඹ පොතු, වැල් මදට, නෙල්ලි තැම්බූ වතුරෙන් එම ඉරි ඇති ස්ථාන සෝදන්න.

* කෝමාරිකා යුෂ, බෙලි කොළ, සුවඳ කොට්ටං, නාමල් රේණු හොඳින් අඹරා එම ස්ථානවල ආලේප කරන්න. මෙය වියළුණාට පසුව සෝදා හරින්න.