සමේ ඇති කොරළවලින් මිදෙන්නට නම්...

ජනවාරි 9, 2019

කාන්තාවකට මෘදු බව, සුන්දරත්වය උපතින් ම උරුම වන බව සත්‍යයකි. ගැහැනියක සතු සුමට බව ඇගේ විශේෂත්වය යි. එහෙත් ඇතැම් කාන්තාවන්ගේ අත පය දිස් වන්නේ පිරිමියකුගේ අත පය මෙනි. මෙසේ වීමට හේතු ගණනාවක් ඇත.

ඉන් එක් කරුණක් වන්නේ සමේ පවතින කොරළ ස්වභාවයයි. මෙය අප සිතනවාට වඩා රුවට හානි කරන අතරම මේ නිසාම සිතට ද වද දෙන ගැටලුවකි.

සම ඉරිතලා ඇති ආකාරයකින් දිස් වන මෙම තත්ත්වය බොහෝ විට ඇති වන්නේ අත්වල හා පාදවලයි. මෙහිදී අත්, පා වියළි, රළු ස්වභාවකින් දිස් වේ.

සමේ මෙවැනි රෝගී තත්ත්වයක් ඇති වීමට ප්‍රධාන හේතුව වන්නේ මේ ගැන ඔබ තුළ ඇති නොදැනුවත් බවයි. එසේම තම සෞඛ්‍යය ගැන ඇති නොසැලකිලිමත් බවයි. දිනකට ඔබ පානය කරන වතුර ඇතුළු දියරමය පානයන් අවම වීම ද මේ තත්ත්වයට හේතුවක් විය හැකියි.

එපමණක් නොවේ, සිරුරට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ නොලැබීම ද මෙවැනි තත්ත්වයක් ඇති වීමට හේතු වේ. විශේෂයෙන් ‘ඩී’ විටමිනය අඩු වූ විට මෙවැනි තත්ත්වයන් ඇති විය හැකිය.

එමෙන්ම ආමාශයේ ඇති ඌෂ්ණාධික බව විශේෂයෙන් සමේ මෙවැනි තත්ත්වයන් ඇති වූ විට නිතර තද කහ පැහැති හා කොළ පැහැති එළවළු වර්ග, පලතුරු, මත්ස්‍ය අක්මා තෙල් (කොඩ් ලිවර් ඔයිල්), පීකුදු වැනි ආහාර වර්ග එකතුකර ගැනීමත්, සිරුරේ

උෂ්ණත්වය අවම කිරීම සඳහා වැඩි වශයෙන් ඖෂධීය පානයන් ගැනීමත්, වැඩි වාර ගණනක් දියරමය පානයන් ලබා ගැනීමත් මඟින් සිරුරේ ඇති විස පදාර්ථ මුත්‍රා සහ මලපහ මඟින් බැහැර වීම සමේ නිරෝගී බවට ඉතා වැදගත් වේ.

සාමාන්‍යයෙන් කොරළ සහිත සමක් ඇති වීමේ තවත් ප්‍රධාන සාධකයක් වන්නේ අපේ බොහෝ කාන්තාවන් සමේ ඇති කුණු ඉවත් කිරීමට බව පවසමින් ඉතා රළු ගල් කැබැලි, ලණු, පොල් කොහු ආදී ද්‍රව්‍ය භාවිතකර සම තදින් ඇතිල්ලීම වැනි වැරැදි ක්‍රියාවන් නිසා ද සැර සබන්, බොඩි වොෂ් වැනි දේ භාවිතය ද නොදැනුවත් බව නිසාම සමේ ඇති ස්වභාවික තෙතමනය නැති වී සම අධික ලෙස වියළි බවට පත් වී ඉරිතැලීම නිසා කොරළ ස්වභාව ඇති වේ.

ආයුර්වේද වෛද්‍ය විද්‍යාවට අනුව පිත ප්‍රකෘතියක් ඇතිව උපදින කෙනෙකුට ද සමේ මෙම තත්ත්වය දැකිය හැකිය. එමෙන්ම අධික සීතල ඇති ප්‍රදේශවල ජීවත් වන බොහෝ දෙනකුගේ ද සම කොරළ බව, පිපිරුණු බව ඇති වේ. එහිදී සිදුවන්නේ අධික සීතලට රෝම කූප වැසී යාමයි.

මේ සඳහා ආයුර්වේදයේ නොයෙකුත් ප්‍රතිකාර ක්‍රම පවතී. ඒ මොනවාදැයි දැන් අපි බලමු.

* හොඳින් ඉදුණු ආනමාලු කෙසෙල් ගෙඩියක් ගෙන එය හොඳින් පොඩිකර එයට තල තෙල් මේස හැඳි දෙකක් එකතුකර මීපැණි තේහැන්දක් සමඟ මිශ්‍රකර කොරළ ඇති ස්ථානවල ආලේපකර වියළුණාට පසු සෝදා හරින්න.

* මුං ඇට ස්වල්පයක් ගෙන එය එළකිරිවල පැය 24 ක් පමණ කාලයක් පෙඟෙන්නට හැර එය අඹරා ගන්න. දැන් එය මී පැණි සහ කෝමාරිකා යුෂ සමඟ මිශ්‍රකර එම ස්ථානවල ආලේපකර වියළුණාට පසුව සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.

* අලිපේර ගෙඩියක මදය එළඟිතෙල් සමඟ මිශ්‍රකර තලපයක් සේ සාදා එය කොරළ ඇති ස්ථානවල ආලේපකර වියළුණු පසුව සාමාන්‍ය ජලයෙන් සෝදා හරින්න.

* මඳක් රත්කර ගත් තල තෙල්, මී පැණි, අබ තෙල් තේ හැන්දක් සමඟ මිීශ්‍රකර කොරළ ඇති ස්ථානවල ගල්වා හොඳින් සම්බාහනය කරන්න. මෙය සතියකට දින තුනක්වත් සිදු කළ යුතුයි.

* සතියකට දින තුනක්වත් ගිතෙල් තේ හැන්දක් උදේ ආහාර වේලට එකතුකර ගන්න.

* ඖෂධීය පාන වර්ග, දියර වර්ග ගැනීම මෙන්ම පෝෂණීය ආහාර වේලක් ගැනීම ද සිදු කළ යුතුයි. වැස්ලින් ආලේප කිරීමත් සමේ වියළි බව වළක්වා ගැනීමට වැදගත් වේ.

මේ ප්‍රතිකර්ම සිදු කිරීමෙන් හා නිසි ආකාරයට ආහාර පාන ලබා ගැනීමෙන් ඔබට කොරළවලින් තොර නිරෝගී සමක් ලබා ගැනීමට හැකියාව පවතී. සම නිරෝගීව පවත්වා ගැනීමට අවශ්‍ය වන්නේ ඒ පිළිබඳ ඇති ඔබේ දැනුවත් භාවය හා උනන්දුවයි.

 

උපදෙස්

ආයුර්වේද රූපලාවණ්‍ය විශාරද

අසෝකා පල්ලියගුරු

සැලෝන් බෙල්ලෙස්සා මහනුවර