වියපත් බව කල්දමා ගනිමුද?

ජනවාරි 23, 2019

තාරුණ්‍යයට කවුරුත් පි‍්‍රය කරති. ඒ නිසාම ගිලිහෙන තාරුණ්‍යය රැක ගැනීමට සිතා බොහෝ දේ කිරීමට කාන්තාවන් උනන්දු වේ. කොතෙකුත් ආලේපනයන් භාවිත කළත් වියපත් බවේ සලකුණු මඟ හැරීමට නොහැකි වී ඇති බව ඇතැම් සුන්දර කාන්තාවන් දෙස බැලූ විට හොඳින් ම පැහැදිලි වේ.

මෙය කාන්තාවන්ට පමණක් වූ රුව ගැටලුවක් නොවේ. පිරිමි පාර්ශ්වය පවා වියපත් වීමේ සලකුණු නිසා පීඩාවට පත් වී සිටින බව නොරහසක්. ඒත් කාන්තාවන්ට පිරිමින්ට සාපේක්ෂව මේ තත්ත්වයට ඉක්මනින් මුහුණ දීමට සිදු වන්නේ ආර්ථවහරණයත් සමඟ යි. ඔසප් වීම නතර වීමත් සමඟ ශරීරයේ අභ්‍යන්තරව හෝමෝන ක්‍රියාවලිය අඩාල වීම මෙයට ප්‍රධාන ම හේතුවයි. එපමණක් නොව, මෙය ශාරීරිකව මෙන්ම මානසිකව ද බලපානු ලබයි. මෙහිදී රුවට ඇතිවන තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ බෙල්ලේ මතුවන රැලි හා එල්ලා වැටීමයි.

මෙසේ සිදු වන්නේ වයස්ගත වීම නිසාම පමණක් නොවේ. තරුණ වියේ දී ම මේ අයුරින් බෙල්ලේ රැලි ඇති විය හැකිය. මෙසේ වීමට කරුණු කිහිපයක් බලපාන අතර විශේෂයෙන් ඔබ තරබාරුව සිට එක්වරම අධික ලෙස සිරුරේ බර අඩු කිරීම නිසා, ආහාර පාලනය කිරීම, වැරැදි ලෙස සම්බාහනය කිරීම නිසා බෙල්ලේ මාංසපේෂීන් එල්ලා වැටීම සිදු වේ.

එමෙන්ම සම අධික ලෙස වියළි වීම, සමට හොඳ පෝෂණයක් නොලැබීම යන හේතු නිසා ද මෙම ගැටලු ඇති වේ. එමෙන්ම බොහෝ කාන්තාවන් සිරුරේ කුණු ඉවත් කිරීමට යැයි කියා ඉතා රළු ගල්, පොල්කොසු, ලණු කැබැලි වැනි දේ යොදා ගැනීමෙන් තමාට සිතෙන ආකාරයට තදින් අතුල්ලයි. මෙසේ සම තදින් ඇතිල්ලීම සමට හානියක් ඇතිවිය හැකි තත්ත්වයකි. නිතර නිතර බෙල්ල අවට සබන්, පිරිසුදු කාරක ද්‍රව්‍ය යොදමින් සේදීම නිසා ද සමේ ස්වභාවික තෙතමනය ඉවත් වී සම වියළි වීමට හැකියාව ඇත.

තරුණ විය කෙමෙන් වියපත් වන විට සමට ලැබෙන විටමින් සහ කැල්සියම් හීන වේ. බොහෝ කාන්තාවන් බෙල්ල සෝදා පිස නොදමන අවස්ථා ඇත. එම නිසා ද සම වියළීමට ඉඩ තිබේ. මේවා ඔබේ නොදැනීම නිසා සිදුකරන වැරැදි පුරුදුවලින් සිදුවන අහිතකර ප්‍රතිඵල ය.

මෙම තත්ත්වය මඟහරවා ගැනීම සඳහා ස්වභාවික ප්‍රතිකර්ම බොහොමයක් පවතී. මෙය සිදු කිරීම සමට ද ප්‍රතිකර්මයකි.

 

2019/01/23 තරුණි බලන්න