40 න් පසු රුව ගැටලු

ජනවාරි 23, 2019

ආලේප ගෑ පමණින් සම පැහැපත් නොවේ

ප්‍රශ්නය

මා වයස අවුරුදු 41 ක විවාහක කාන්තාවක්. මාගේ සම තෙල් සහිත සමකි. මාගේ සමෙහි ක්‍රීම් වර්ග ආලේප කළත් සම පැහැපත් නොවේ. කිසියම් ක්‍රීම් වර්ගයක් ආලේප කළ පසුව සමෙහි කුරුලෑ හට ගනී. එසේ සිදුවන්නේ ඇයි? මෙයට ප්‍රතිකාර තිබේද?

නිලූකා - අම්බලන්ගොඩ

පිළිතුර

ඕනෑම ක්‍රීම් වර්ගයක් මිලදි ගැනීමට පෙර තමන්ට තිබෙන්නේ කුමන සමක් ද කියා හඳුනාගත යුතුයි. එලෙස සමෙහි ස්වභාවය අනුව තෙල් සහිත සම, වියළි සම, සාමාන්‍ය සම සහ මිශ්‍ර සම යනුවෙන් වර්ගීකරණය කළ හැකියි.

ඔබේ සම තෙල් සහිත සමක් නම් වියළි සමකට සුදුසු ක්‍රීම් වර්ගයක් ගැළපෙන්නේ නැත. සුදුසු නොවන, සමට නොගැළපෙන ක්‍රීම් වර්ග ආලේපනයෙන් මෙවැනි තත්ත්ව ඇති වේ. එබැවින් ඔබේ සම තෙල් සහිත නම් ඔබට ගැළපෙන්නේ වියළි සමකට සුදුසු ක්‍රීම් වර්ගයක් නොව තෙල් සහිත සමකට සුදුසු ක්‍රීම් වර්ගයකි.

එසේම ඔබට ඇත්තේ සංවේදී සමක් නම් ක්‍රීම් වර්ග භාවිතයෙන් ආසාදනයන් ඇතිවිය හැකියි. එබැවින් වඩාත් සුදුසු වන්නේ රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙත ගොස් සම විශ්ලේෂණය කර, සමෙහි ස්වභාවය වටහා ගෙන සමට සුදුසු ක්‍රීම් වර්ගයක් තෝරා ගැනීමයි.

ඇතැම් විට ඔබ මිල දී ගත් කී‍්‍රම් වර්ගය තවත් අයකුට ගැළපෙනවා විය හැකියි. එබැවින් අන් අය පාවිච්චි කරන නිසාත්, ඔවුනට එයින් ප්‍රතිඵල ලැබුණු නිසාත් ක්‍රීම් වර්ග මිලදි නොගන්න. එය සමට හානිකර විය හැකියි.

එමෙන්ම ඕනෑම ක්‍රීම් වර්ගයක් ආලේප කිරීමට පෙර සම හොඳින් පිරිසුදු කර වියළිව තබා ගැනීමත් අවශ්‍ය කාරණයක්. සම හඳුනා ගැනීමෙන් පසු ඔබට ගැළපෙන ආලේපන මිලදී ගැනීමෙන් ගැටලුවකින් තොරව ආලේප කිරීමට හැකි වේවි.

 

2019/01/23 තරුණි බලන්න