ප්‍රතිඔක්සිකාරක ගුණයෙන් යුත් රුව රකින ජොජෝබා

පෙබරවාරි 27, 2019

කාටද දිස්නේ ගහන ලස්සන සමක් වුවමනා නැත්තේ. නිරෝගී පැහැපත් සමක් කියන්නේ ඕනෑම තරුණියකගේ හීනයක්. හැබැයි හීන දුටු පමණින් තමන්ට දිදුලන සමක් අයිති කර ගන්න පුළුවන් කියලා හිතනවා නම් ඒකත් හීනයක්ම තමයි.

ඔබට දිදුලන සමක් අවශ්‍ය නම්, එසේම උපතින්ම ඔබට සුන්දර සමක් හිමි වුවද එය එලෙසම දිගු කලක් රැක ගැනීමට අවශ්‍ය නම් ඔබට ඒ වෙනුවෙන් සුළු හෝ කැප කිරීමක් කරන්න වෙනවා.

තමන්ගේ සුන්දරත්වය වෙනුවෙන් කාන්තාවන් නොකරන දෙයක් නැති තරම්. විශේෂයෙන්ම බොහෝ දෙනා තමන්ගේ මුහුණේ පැහැය ගැන සිතනවා. ලස්සන පැහැපත් මුහුණක් කියන්නේ සෑම කාන්තාවක්ම බලාපොරොත්තු වන දෙයක්. ඒ නිසා සියලුම සත්කාරයන් මුහුණට ලබා දෙන්න ඔවුන් අමතක කරන්නේ නෑ. ඒ නිසාම දකින දකින ආලේපනයන් භාවිත කරන්න පෙළඹෙනවා. එහෙත් මේ ආලේපනවලින් බොහොමයක් සිරුරට අහිතකරයි. එබැවින් අද අප ඔබට හඳුන්වා දෙන්නේ ඔබේ සමට වඩාත් සුදුසු ස්වභාවික සත්කාරයක් පිළිබඳවයි.

ඔබ දැනටමත් විවිධ ආලේපන භාවිතකර පෙනුම වැඩිකර ගන්න උත්සාහකර අපේක්ෂා කළ ප්‍රතිඵලය නොලැබී යාමෙන් කනගාටු වෙනවා ඇති. ඒ සිහිනය සැබෑකර ගන්න දැන් ජොජොබා සත්කාරයට පුළුවන්.

ජොජෝබා කියන්නේ වියළි කාන්තාර ප්‍රදේශවල වැඩෙන පඳුරු විශේෂයක හට ගන්නා ගෙඩි වර්ගයක්. මෙක්සිකෝවට ආවේණික වූ මෙම ශාකයේ ඇට මඟින් ජොජෝබා තෙල් නිපදවා ගැනීම සිදු කරයි.

තරුණ පෙනුම රැක දෙයි

අප වයස්ගත වන විට අපගේ මුහුණේ ඇති ස්වභාවික තෙල් ගතිය එනම් වැක්ස් එක්ට්‍රා හෙවත් සම ආරක්ෂා කරන සීබම් නිෂ්පාදනය ටික ටික නැති වී යනවා. එවිට සම ක්‍රමයෙන් වියළීමට පටන් ගන්නවා. ඒ හේතුවෙන් සමේ ඇදෙනසුළු බව නැති වී සම රැලි වැටී සම වැහැරී එල්ලා වැටෙන තත්ත්වයකට පත් වෙනවා.

සම වයසට යෑම ආරම්භ වන්නේ වයස අවුරුදු 30 න් පසුවයි. එම නිසා වයස අවුරුදු 30 පසුවීමත් සමඟ සමෙහි තෙතමනය වෙනසක් නැතුව පවත්වාගෙන යාමට අප සැළකිලිමත් විය යුතුයි. මේ හැකියාව ජොජෝබා සතුව පවතිනවා.

ඒ සඳහා කළයුත්තේ රාත්‍රී නින්දට පෙර පිරිසුදු කරගත් මුහුණෙහි ජොජෝබා තෙල් ස්වල්පයක් ආලේප කොට සම්බාහනය කිරීමයි. දින කිහිපයකින් ඔබට ඔබේ මුහුණෙහි වෙනස වටහා ගත හැකියි.

වයස අඩුකර පෙන්වන නිශ්චිත හැකියාවක් තිබෙන ජොජෝබා විටමින් A, B, C, D, Eයන විටමින් සංඝටකවලින් පොහොසත්. විශේෂයෙන් එහි විටමින් C  සහ E ද අඩංගු වන නිසා සම සුමුදුකර පැහැපත් නැවුම්බවක් ගෙන දෙයි.

ප්‍රතිඔක්සිකාරකයකි

ජොජෝබාවල පවතින වැදගත්ම සාධකය වන්නේ එහි ඇති ප්‍රතිඔක්සිකාරක භාවයයි. එමගින් සමෙහි ඇතිවන රෝග සමඟ සටන් කොට සම එවැනි රෝගවලින් වළක්වා ගැනීමට කටයුතු කරයි. මෙය සැබැවින්ම විසබීජ නාශක ගුණයෙන් යුක්තයි. එබැවින් මෙය ඕනෑම සමකට සුදුසු අතුරු ආබාධ රහිත සත්කාරයක් බව ඔබටම වැටහෙනු ඇත.

2019/02/27 තරුණි බලන්න.