බ්ලැක්හෙඩ්ස් පහසුවෙන් ගෙදරදීම නැතිකරන ක්‍රමය

මාර්තු 20, 2019

කාන්තාවක් ලෙස ඔබත් ලස්සන වෙන්න කැමැතියි නේද? ඔබේ මුහුණේත් බ්ලැක්හෙඩ්ස් තියෙනවා ද? මේ බ්ලැක්හෙඩ්ස් තත්ත්වය දැන් බොහෝ දෙනෙක් මුහුණපාන පොදු ගැටලුවක් බවට පත්වෙලා.

ඔබේ මුහුණේ තියෙන පොඩි සිදුරුවල මුහුණේ ඇති වැඩිපුර තෙල් සහ මැරුණු සෛලවලින් හිර වෙලා වැහිලා ගිය විට බ්ලැක්හෙඩ්ස් සෑදෙනවා. බ්ලැක්හෙඩ්ස් ඇති වෙන්නේ කුණු දූවිලි නිසාම නොවෙයි. හැමවෙලාවේම මුහුණ සේදීම, ස්ක්‍රබ් කිරීම නිසා මුහුණ වේලෙනවා. එවිට තව තවත් තෙල් වැඩියෙන් ස්‍රාවය කරන නිසා බ්ලැක්හෙඩ්ස් වැඩියෙන් ඇති වෙනවා. දැන් ඔබට ගෙරදීම මේ තත්ත්වය පාලනය කළ හැකියි.

බිත්තර සුදුමදය

තියෙන බ්ලැක්හෙඩ්ස් අයින් කරන්නටත් අලුතෙන් එන බ්ලැක්හෙඩ්ස් නවත්වන්නත් බිත්තර සුදුමදය යොදා ගන්න පුළුවන්. මුහුණේ තියෙන සිදුරු තද වීමක් බිත්තර සුදු මදෙන් සිදු වෙනවා. බිත්තර සුදු මදයේ පෝෂණ පදාර්ථ තියෙන නිසා ඔබේ මුහුණේ වේලීම අඩු කරනවා. මේ ප්‍රතිකාරය කරන්න බිත්තර සුදුමදයක්, මුහුණ පිසින ටිෂූ, කුඩා බඳුනක්, පිරිසුදු තුවායක් අවශ්‍යයි.

මුහුණ සෝදා, වතුර තෙතමාත්තු කර බිත්තර සුදුමදය මුහුණේ ගාන්න. එයට උඩින් ටිෂූ අලවන්න. ඒ විදියට මුළු මුහුණේම ටිෂූ අලවලා වේලෙන්න හරින්න. මේ විදියට තුන් පාරක් බිත්තර සුදුමදය ද ටිෂූ තට්ටුව ද අලවන්න. මෙය වේලෙන්නට හරින්න. ඊට පසු මුහුණට තද ගතියක් දැනෙයි. පසුව ටිෂූ අයින්කර, පිරිසුදු වතුරෙන් මුහුණ සෝදන්න.

ජල වාෂ්ප

ජල වාෂ්පවලට සිදුරුවල තියෙන තෙල් සහ මැරුණ සෛල අඩු කරන්න පුළුවන්. ඒ සඳහා ලොකු බඳුනක්, වතුර සහ පිරිසුදු තුවායක් අවශ්‍ය වනවා. බඳුනට රත් වුණු වතුර දාලා ටික වේලාවක් සිසිල් වෙන්න දීලා, විනාඩි 10 ක් පමණ මුහුණ ස්ටීම් කරන්න. ජල වාෂ්ප තුවායෙන් එළියට යන්න දෙන්න එපා. පසුව උණු වතුරෙන් මුහුණ සෝදන්න. එමඟින් බ්ලැක්හෙඩ්ස් ඉතා ඉක්මනින් ඉවත් වෙනවා.

දෙහි යුෂ

දෙහි යුෂ කියන්නේ ඉතා හොඳ ටෝනර් එකක්. දෙහි යුෂ නිසා ඔබේ සමට පැහැපත් බවක් ගෙන දෙනවා.

මුහුණ සෝදා පුළුන් කෑල්ලකට දෙහි යුෂ සහ වතුර බිංදු කිහිපයක් එකතු කරමින් මුහුණේ ගාන්න. මෙය රාත්‍රී නින්දට පෙර කර, පසු දින උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

 

2019/03/20 තරුණි පුවත්පත බලන්න.