වයසට යන්න අකැමැති නම්.. මෙචන්න පිළියම්..

අප්‍රේල් 3, 2019

ලෝකයේ සෑම දෙයක් ම සිදු වන්නේ චක්‍රයකට අනුවයි. ඒ නිසා අපේ ජීවිත ද ළමා වියෙන් තරුණ වියටත් ඉන් මැදි වියටත් පසුව මහලු වියටත් පත් වේ. මෙය සත්ත්ව ජීවිතවලට ද පොදු වූ සත්‍යතාවකි. එය සාමාන්‍ය යථාර්ථය වුවත් අපි වයසට යන්නට නම් කිසිසේත් කැමැත්තක් නොදක්වන්නෙමු.

විශේෂයෙන් ම 'කාන්තාවකගෙන් වයසත් පිරිමියකුගෙන් ආදායමත් අසන්නට එපා' යැයි කීමක් සමාජගත වී ඇත්තේ ද මේ හේතුව නිසාම ය.

කාන්තාවන් පමණක් නොවේ පිරිමි පාර්ශ්වය වුවද වයසට යාමට වැඩි කැමැත්තක් දක්වන්නේ නැත. එහෙත් වයසටත් පෙර වයසට යන අයද අප අතර වේ. මෙය අකලට වයසට යාම ලෙසින් සමාජය විසින් හඳුන්වයි. මෙසේ අකලට වයසට යන්නේ තම සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වා නොගන්නා අය හා රුව නිසි ලෙස පවත්වා ගැනීමට නොසිතන අයයි. අකලට වයසට යාම බාහිර සිරුරෙන් පමණක් නොව, අභ්‍යන්තරව ද රූ සපුව කෙරෙහි බලපානු ලබයි.

පැරැණි ඍෂිවරුන් පවසා ඇති අන්දමට අකලට මහලු වීමට ප්‍රධාන හේතු කීපයක් බලපායි.

1. අධික ලෙස නිදි වැරීම

2. පමණ ඉක්මවා නිදා ගැනීම

3. මස් මාංස අනුභවය

4. වැඩිහිටි ස්ත්‍රී සේවනය

5. අලුයම සංසර්ගයේ යෙදීම

6. මානසික අවිවේකී බව

7. අධික අම්ල ගතියෙන් යුත් හා ලුණු සහිත ආහාර ගැනීම

8. නරක් වූ ආහාර ගැනීම

9. මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිතය

10. දහවල් නිදා ගැනීම

මේ ප්‍රධාන කාරණා මෙන්ම තවත් කරුණු බොහොමයක් ම අකලට මහලු වීමට බලපානු ලබයි. අධික ලෙස සංසර්ගයේ යෙදීම, පමණ ඉක්මවා ව්‍යායාමවල යෙදීම නිසා සිරුරේ වර්ධනය බාල වීම, කෘත්‍රිම රසකාරක වර්ග භාවිතය මෙන්ම නිතර නිතර ලෙඩ රෝගවලට බඳුන් වීම ද මහලු වීමට බලපාන ප්‍රධාන සාධකයකි.

අධික ශබ්දය, රථවාහනවල ශබ්දය, විවිධ යන්ත්‍රෝපකරණ ශබ්ද ආදිය නිසා මානසික පීඩනය ඇති කරයි. එමෙන්ම අකාලයේ වියපත් වීමට තවත් හේතුවක් ලෙස සැලකෙන්නේ සොබා දහමට එරෙහි වීමයි. අතීතයේ මිනිසුන් සොබා දහමට එකඟව ජීවත් වීමට වැඩි අවධානයක් යොමුකර ඇත. පිරිසුදු වාතය, පිරිසුදු ජලය, ස්වභාවික ආහාර, විවේකය මෙන්ම ගහකොළ, ඇළදොළ, කුරුලු නාද වැනි ස්වභාවික සුන්දරත්වය විඳීමද නිරෝගීකමට මෙන්ම වයසට යාම අවම කිරීමට හොඳ ප්‍රතිකර්මයකි.

2019/04/03 තරුණි පුවත්පත බලන්න