දන්න දෙයට වැඩි යමක්

අප්‍රේල් 10, 2019

දවසට නැත්නම් පැය 24කට අපි කොයිතරම් දේවල් අහනවාද? දකිනවාද? බස් රථයේ දී, නිවෙසේදී, කාර්යාලයේදී, මඟතොටේදී මේ හැමතැනකදීම අලුත් දෙයක් අහන්න, දකින්න ලැබෙනවා. ඒත් ඒ දේවල්වලින් කොයිතරම් පුංචි ප්‍රමාණයක් ද අපි ජීවිතයට එකතු කරගන්නේ. ඒත් ටිකක් විමසිල්ලෙන් බලන්න. ඒ හැමදෙයකින්ම ඔබේ ජීවිතයටත් දන්න දෙයට වැඩි යමක් එකතු කරගන්න පුළුවන් වෙයි.

වයසට යන්න බයයි ද?

කවුරුත් කැමැති හැමදාම තරුණ විදියට ඉන්න. ලස්සනට, පිළිවෙළට ඉන්න. ඒත් ඉතින් අපි ටිකින් ටික වයසට යනවානේ. අකැමැති වුණත් නවත්තන්නත් බෑ. අතින් අල්ලලා නවත්වන්නත් බෑ. හැබැයි අපේ කෑම රටාවෙන් වයසට යන එක ටිකක් විතර ප්‍රමාද කරන්නට පුළුවන්. මෙන්න මේ විදියට.

ඇට වර්ග

බොහොමයක් ඇට වර්ගවල ඔමේගා 3 මේද අම්ලය, සින්ක්, විටමින් ඊ, ඛනිජ ප්‍රභේද, විටමින් වර්ග අඩංගුයි. මෙම පෝෂකවලින් ඔබේ සමෙහි පැල්ලම් ඉවත්කිරීමටත්, ආසාදන සුව කිරීමටත්, වයස්ගත වීමේ ලක්ෂණ පාලනය කිරීමටත් පුළුවන්.

තෙල් සහිත මාළු

මාළුවල ඔමේගා 3, මේද අම්ල, විටමින් ඡ්, සින්ක් අඩංගුයි. එයින් ඔබට නිරෝගී දිදුලන සමක් ලබාදේවි. සමේ තෙත් බව ආරක්ෂාකර, තුවාල සහ ඇක්නිවලට සුවය ලබාදෙයි.

යෝගට්

යෝගට් තුළ හිතකර බැක්ටීරියාවන් අඩංගුයි. ඔබේ සමේ ඇතිවන රත්පැහැ ගැන්වීම්. ආසාදන සහ කුරුලෑ වැනි සමේ ගැටලු මර්දනයට මෙම හිතකර බැක්ටීරියාවන් උපකාරී වෙනවා. යෝගට්වල අඩංගු ලැක්ටෝස් අම්ලය වයස්ගත වීමේ ලක්ෂණ පාලනයකර, මැරුණු සෛල ඉවත්කිරීමටත් කටයුතු කරනවා.

කහ කුඩු

සමේ ඇතිවන ප්‍රදාහය සුවකර, කුරුලෑ සුවකිරීමට කහ කුඩු උපකාරී වෙනවා. හිරු එළියට නිරාවරණය වීමෙන් සමට වන හානි වළක්වා, ඇතිවිය හැකි සමේ පිළිකා ආදියෙන් සම ආරක්ෂා කිරීමට හැකියි. කහ කුඩු, කුළුබඩු වර්ගයක් බැවින් රසවත් කෑම වේලකටත් කහකුඩු උපකාර කරගන්නට පුළුවන්.

 

2019/04/10 තරුණි බලන්න