සම පැහැපත් කරගන්න සත්කාරයක්

අප්‍රේල් 10, 2019

වයසට යාමත් සමඟ රැලි වැටෙන එක ස්වාභාවික සිද්ධියක්. ඒත් සුන්දර රූපයක් හිමි වෙලා තිබිලා, කාලයත් එක්ක සම රැලි වැටෙනකොට දැනෙන්නේ වේදනාවක්. වයස්ගතවීමත් සමඟ විතරක්ම නෙවෙයි, ඇතැම් අයගේ සම විවිධ හේතු නිසා අකලට රැලි වැටෙනවා.

ඒ නිසා කාන්තාවක් සැම විටම තමන්ගේ සම පිරිසුදුව ලස්සනට තියාගන්න උත්සාහ ගත යුතුයි. සම මෝරන විට සම රැලි වැටීමට පටන්ගන්නවා. අවුරුදු 30 පසුවනවාත් සමඟම සමට වැඩි අවධානයක් දිය යුත්තේ ඒ නිසයි.

මෙම ප්‍රතිකාරය මඟින් සම පැහැපත් වී පිරිසුදු වන නිසා රැලි වැටීමත් ක්‍රමයෙන් පාලනය වෙනවා. මේ සඳහා ඉදුණු බෙලි ගෙඩි 1/2 ක්, මී පැණි මේස හැන්දක්, මුදවපු කිරි මේස හැඳි 6 ක්, ගස්ලබු යුෂ කෝප්ප 1/4 ක්, දෙහි ගෙඩි 1/2 ක් සහ කෝමාරිකා මදය මේස හැඳි 3 ක් අවශ්‍ය වෙනවා.

පළමුව මුහුණ පිරිසුදු වතුරින් හොඳින් සෝදාගන්න. දෙහි ගෙඩි 1/2 ගෙන මුහුණේ සෑම තැනකම හොඳින් අතුල්ලන්න. දෙවනුව කෝමාරිකා මදය මුහුණ මත තවරා, ඇස් දෙක පුළුන් කැබලි දෙකකින් වසා විනාඩි 10 ක් තබා සෝදා හරින්න. ඉදුණු බෙලි ගෙඩි 1/2 , මී පැණි. මුදවපු කිරි සහ ගස්ලබු බ්ලෙන්ඩරයට දමා හොඳින් බ්ලෙන්ඩර්කර තලපයක් සාදාගන්න. මෙම තලපය මුහුණෙහි ආලේපකර විනාඩි 20 - 30 අතර කාලයක් තබා සෝදා හරින්න. මෙය මසකට දෙවරක් කිරීම වඩා ප්‍රතිඵලදායක වේ.

 

උපදෙස් - රූපලාවණ්‍ය ශිල්පිනී

දිල්කා මාර්ටින්

දිල්රූ සැලෝන් - මොරටුව