පලතුරු පොතුවලින් ලස්සන වෙමුද?

අප්‍රේල් 24, 2019

ලස්සන වෙන්න කොයි කාටත් තියෙන්නේ උන්මාදයක් වුණත් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ තාවකාලික නොවන දිගු කාලින පරිපූර්ණ ලස්සනක් ලබා ගන්නේ කොහොමද කියලා. ගොඩක් වෙලාවට පාටියකට එහෙමත් නැත්නම් උත්සවයකට යන්න ඕන වුණාම බොහෝ කාන්තාවන් කරන්නේ සැලෝන් එකට ගිහින් තාවකාලික ලස්සනකින් හැඩ වැඩ වෙලා අවස්ථාව වෙනුවෙන් පෙනී ඉන්නවා. විශේෂයෙන්ම අපේ රටේ යුවතියන් වගේම කාන්තාවන් ගොඩක් වෙලාවට විශාල වශයෙන් මුදල් වියදම් කරලා රූපලාවණ්‍ය නිෂ්පාදන එක්ක ඔට්ටු වෙනවා ලස්සන වෙන්න අවසානයේදී තමන්ගේ තියෙන ලස්සනත් නැති කරගෙන තමයි ගොඩක් දෙනෙක් නතර වෙන්නේ.

සාමාන්‍යයෙන් ගුණය දැන හෝ නොදැන බොහෝ දෙනා පලතුරු ආහාරයට ගන්නවා. හැමෝම කරන්නේ පලතුර කාලා පොත්ත කුණු කුඩයට විසි කරන එක. නමුත් අද මේ කියන දේවල්වලින් පස්සේ නම් ඔබ පලතුරු පොතු විසිකරන එකක් නැහැ.

කෙසෙල් ගෙඩි පොතු

ඔබේ මුහුණේ කුරුළෑ සහ කුරුළෑ ලප කැළැල් තියෙනවා ද? එහෙමත් නැත්නමි සිරුරේ තැනින් තැන කළු පැහැ වෙලාද? ඉතිං මේ ගැටලුවලට ප්‍රතිකාර කරන්න කුණු කූඩයට විසි කරන කෙසෙල් පොත්ත ප්‍රමාණවත්. ඔබට කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයක්. පළමුව මුහුණ සහ සිරුරේ තැනින් තැන අවපැහැ වෙලා තියෙන තැන් හොඳින් පිරිසුදු කරන්න. කෙසෙල් ගෙඩියේ පොත්ත ගෙන, අව පැහැ වූ තැන්වල අතුල්ලමින් හොඳින් ස්ක්‍රබ් කරන්න. එමඟින් මැරුනු සම ඉවත් වී යනවා. සමේ ගොරෝසු තැන් සුමුදු කරනවා. මේ හරහා මුහුණේ ළප කැළැල්වල වර්ණය ක්‍රමයෙන් අඩු වී පැහැපත් සමක් ලබා දෙනවා.

දොඩම් පොතු

ලොකු කුඩා කවුරුත් අතර ජනප්‍රිය පලතුරක් තමයි දොඩම් කියන්නේ. දොඩම් යුෂවලින් සී විටමින් ලැබෙනවා. මේ සී විටමින් සිරුරේ ක්‍රියාකාරිත්වයට ඉතාමත් වැදගත්. දොඩම් කාලා, පොතු ඉවත දමන්නේ නැතුව දැන් ලස්සන වෙන්න භාවිත කරන්න පුළුවන්. දොඩම් ගෙඩියේ කහ පාටට හුරු පොත්ත ඉවත් කළාම සුදු පැහැති පඩලයක් වැනි පොත්තක් දකින්න ලැබෙනවා. මේ සුදු පැහැති පොත්ත සෙමින් ඉවත් කර ගන්න. පසුව එය බ්ලෙන්ඩර් කර ගන්න. මේ විදියට සකස් කරගත්ත මිශ්‍රණය ඔබගේ මුහුණේ කුරුලෑ, ලප, කැළැල් තියෙන තැන්වල ආලේප කරන්න. මෙමගින් නැවත කුරුලැ ඒම වළක්වාලමින් සමේ තියෙන ලප කැළැල් ද සුවපත් කරනවා.

දොඩම් ගෙඩියේ විසි කරන කහ පැහැති හරියට පාවිච්චි කළොත් සමේ පැහැපත් බවත් ලබා ගන්න පුළුවන්. දොඩම් පොතු ටික ඉවත් කරගෙන හොඳින් අව්වේ වියලා ගන්න. පසුව මේ දොඩම් පොතු බ්ලේනඩර් කර ගන්න. බ්ලෙන්ඩර් කරගත් දොඩම් පොතු කුඩුවලට කිරි ස්වල්පයක් මිශ්‍රකර මුහුනේ ආලේප කරන්න. මෙමගින් මුහුණේ අඳුරු පැහැය ඉවත් වී නව පෙනුමක් ගෙන දෙයි.

ගස්ලබු පොතු

ගස්ලබු කියන්නෙත් කා අතරත් ජනප්‍රිය පලතුරක්. ගස්ලබු ආහාරයට නොගන්නා කෙනෙක් අද හොයා ගන්නත් නැති තරම්. දැන් ලස්සන වෙන්න ගස්ලබු පොත්තක් ඔබට භාවිත කළ හැකියි. ගස්ලබු ආහාරයට ගත් පසු පොත්ත විසි නොකර, ශීතකරණයේ මද වේලාවක් තියලා තියන්න. ඊට පස්සේ බෙල්ලේ සහ මුහුනේ හොඳින් ආලේප කරන්න. මෙයින් මුහුණේ සහ බෙල්ලේ තියෙන රළු බව ඉවත් වෙලා ගිහින් මුහුණේ සහ බෙල්ලේ සම සුමුදු කරනවා.

අලිගැට පේර පොතු

අලිගැට පේර පොත්තත් සම පැහැපත් කර ගැනීමට භාවිත කළ හැකියි. අලිගැට පේරවල මදය ඉවත්කර ගත්තට පස්සේ ඉතිරිවන පොත්ත හොඳින් බ්ලේනඩර් කර ගන්න. එවිට ඔබට තළපයක් ආකාරයෙන් මිශ්‍රණයක් ලබා ගත හැකියි. පසුව මුහුණ, බෙල්ල, අත් සහ කකුල්වල ආලේප කරන්න. විනාඩි 30 කට පසු සෝදා ඉවත් කරන්න.

ඇපල් ගෙඩියේ පොතු

සාමාන්‍යයෙන් ගොඩක් දෙනෙක් ඇපල් ගෙඩිය කන්නේ පොතු එක්කමනේ. ඒත් ඇපල් ගෙඩියේ පොත්ත ඉවත් කර ගත්තොත් සමට පැහැපත් බවක් ලබා ගන්න භාවිත කළ හැකියි. ඇපල්වල පොතුටික ගෙන පෙර පරිදිම බ්ලෙන්ඩර් කර ගන්න. ඉන්පසු එම මිශ්‍රණය මුහුණේ සහ අතපයවල ආලේප කරන්න.

උපදෙස්

රූපලාවණ්‍ය ශිල්පිනී

ලංකා කුමාරි

ලක් රූ සැලෝන්

දළුගම