නිරෝගී දිදුලන කෙස් කලඹකට....

ජුනි 5, 2019

කාන්තාවකගේ සුන්දරත්වය වර්ධනය කිරීමට හිසකෙස්වලට තිබෙන්නේ පුදුමාකාර හැකියාවක්. කාන්තාවන් තම කෙස් කලඹට වැඩි සැලකිල්ලක් දක්වන්නේ මේ නිසාමයි. අනෙකුත් බාහිර ශරීරාංග හා සැලකීමේ දී කෙස් කලඹට සිදුවන විවිධාකාර රෝග, ආපදාවන් ද බොහොමයි.

මේ අතර බොහෝ කාන්තාවන්ට ඇති කෙස් කලඹ ආශි‍්‍රත ගැටලු ලෙස කෙස් කලඹ අවපැහැ ගැන්වීම, කෙස් අග පැලීම, කෙස් ගස් මැදින් කැඩී යාම ආදිය විශේෂ වේ. මෙසේ වීමට හේතුවන සාධකයන් කිහිපයක් ම තිබිය හැකිය. බොහෝ විට විලාසිතා වෙනුවෙන් හිසකෙස් රැලි ගැන්වීම, හිසකෙස් කෙලින් කිරීම (ස්ට්‍රේට්) මෙන්ම නිතර නිතර හිසකෙස් සකස් කිරීමට හෙයා ඩ්‍රයරය, අයන් එක භාවිතය ද මෙයට හේතු වේ. තෙත හිසකෙස්වල ඇති පෝෂණීය තත්ත්වය ඉවත් වී කෙස් ගස දුරුවල වීම නිසා මේ අයුරින් හානි ගෙන දෙයි.

එමෙන්ම හිසකෙස්වල වැවීම සඳහා අවශ්‍ය පෝෂණ ද්‍රව්‍ය නිසි ලෙස ලබා නොගැනීම ද හිසකෙස් දුර්වල වීමට තවත් හේතුවක් වේ. නිතර නිතර සැර ෂැම්පු වර්ග භිස කෙස් සේදීමේ දී භාවිත කිරීම හා හිසකෙස් තදින් ඇතිල්ලීම, ෂැම්පු භාවිතයෙන් පසු කන්ඩිෂනර් භාවිත නොකිරීම, හිස සේදීමෙන් පසුව වැඩි වේලාවක් හිසකෙස්වල ජලය රැඳී පැවතීම

මෙන්ම ජානමය හේතු ද හිසකෙස්වල නිරෝගී බවට බලපෑම් කරන හේතු වේ.

මේ කුමන අයුරකින් හිසකෙස්වල දුර්වල කමක්, ගැටලුකාරී බවක් ඇති වුවත් ඒ සඳහා සිදු කළ හැකි ස්වභාවික ප්‍රතිකාර, සත්කාර බොහොමයකි.

* යෝගට් මේස හැඳි 5ක්, බිත්තර කහමදයක්, ඔලිව් තේ හැඳි 2ක් හොඳින් බ්ලෙන්ඩ්කර තෙමාගත් හිසකෙස්වල ආලේපකර විනාඩි 30ක පමණ වේලාවක් තබා සෝදා හරින්න.

* මුං ඇට පැය 24ක් එළකිරිවල පෙඟෙන්නට තබා එයට මී පැණි තේ හැඳි 4ක් එකතුකර හොඳින් මිශ්‍ර කරන්න. මෙම මිශ්‍රණය හිසකෙස්වල ආලේපකර විනාඩි 30ක පමණ වේලාවක් තිබෙන්නට හැර සෝදා හරින්න.

* හොඳින් ඉදුණු අලිගැටපේර ගෙඩියක් ගෙන එය බිත්තර කහමදයක් සහ තම්බා ගත් සව් කෝප්ප භාගයක් සමඟ මිශ්‍ර කර හිසකෙස්වල ආලේප කරන්න. මෙම ආලේපය වියළුණාට පසුව සෝදා හරින්න.

* හොඳින් ඉදුණු බෙලි ගෙඩියක් ගෙන මී පැණි තේ හැඳි 3ක් සමඟ මිශ්‍රකර හිසකෙස්වල ආලේප කරන්න. වියළුණු පසුව සෝදා හරින්න.

මෙම ස්වභාවික ද්‍රව්‍ය ආශ්‍රයෙන් සිදු කරන ප්‍රතිකර්ම මඟින් හිසකෙස්වල පෝෂණීය මෙන්ම නිරෝගී භාවය සඳහා ඉවහල් වේ. මෙම ප්‍රතිකර්ම අඩුම තරමින් සතියකට වරක්වත් සිදු කිරීම මඟින් නිරෝගී දිදුලන කෙස් කලඹක් ලබා ගැනීමට ඔබට හැකියාව ලැබේවි.

 

2019/06/05 තරුණි බලන්න