මුහුණ පිරිසිදු කරන පොල් කිරි ක්ලෙන්සර්

ජුනි 5, 2019

පොල්තෙල්වල අඩංගු සංතෘප්ත මේද අම්ල බොහෝ විට මව්කිරිවල පවතින අම්ලවලට බොහෝ සෙයින් සමාන වේ. එසේම පොල්කිරි, පොල්තෙල් පහසුවෙන් මලපහ පිටකරන හොඳ විරේචකයකි. පොල්තෙල්වල සහ කිරිවල දිලීර නාශක ගුණය, බැක්ටීරියා නාශක ගුණය අඩංගු වේ. මෙමඟින් ශරීර ශක්තිය වර්ධනය කෙරේ. එසේම මෙහි ඇති ඖෂධීය ගුණ නිසා කුඩා දරුවන්ගේ ශරීරයේ ආලේප කිරීමට සුදුසු වේ. පොල් කිරි ස්වභාවික මොයිස්චරයිසර් ලෙසින් පාවිච්චියට ගැනීමට හැකිවීම එයට හේතුවයි. එසේම පොල් කිරි මුහුණ පිරිසුදු කරන හොඳ කලෙන්සර් එකකි. වතුර දමා මුහුණ සේදුවිට වතුරේ දිය නොවන විසබීජ, පොල්කිරි මඟින් හොඳින් ඉවත් වේ. විටමින් ඡ් අතින් පොහොසත් නිසා එමඟින් මුහුණට ඉතා හොද පැහැයක් ගෙන දේ.

පොල්කිරි හිසට ගුණදායකයි. හිස්හොරි වළකයි. හිසකෙස්වල දුර්වර්ණ ගතිය නැති කරයි. එමෙන්ම පොල් තෙල් සේම පොල් කිරි මඟින් ද නීරෝගී කෙස් කලඹක් ලබා ගත හැකියි.

මුහුණ පැහැපත් කර ගැනීම සඳහා පොල් කිරි, මී පැණි, මුං ඇට හෝ කඩල පිටි තේ හැන්ද බැගින් ගෙන මිශ්‍රණයක් සකසා මුහුණේ ආලේප කර විනාඩි 30 ක් පමණ තබා මඳ උණුසුම් වතුරෙන් සෝදන්න.

අකලට හිසකෙස් පැසීම වළක්වා ගැනීම සඳහාත් පොල්කිරි භාවිත කළ හැකියි. දෙහි යුෂ තේ හැඳි 1/4 ක්, යෝගට් තේ හැඳි 2 ක්, පොල් කිරි තේ හැඳි 2 ක් ගෙන එකට මිශ්‍රකර හිසේ ආලේප කරන්න. ඉන් පසු පැයක් පමණ තබා සෝදා හරින්න.

ශරීරය සම්භාහනය කිරීමට නම් ගාගත් පොල් කෝප්පයකට වතුර කෝප්පයක් දමා රත් කර වතුර පෙරා ගන්න. එම වතුර ගෙන ඇඟපත, මුහුණ සම්භාහනය කරන්න. පැයකට පමණ පසු මඳ උණුසුම් වතුරෙන් සෝදන්න.

මෙලෙස පොල්කිරිවලින් ලබාගත හැකි රුව ගුණ නිවෙසේදී ඔබටත් අත්හදා බැලිය හැකියි.

 

උපදෙස් - රූපලාවණ්‍ය ශිල්පිනී,

ලංකා කුමාරි

ලක් රූ සැලෝන් - දළුගම