හිසකේ විලාසිතා කිරීමට පෙර සිතන්නට යමක්...

ජුනි 12, 2019

කොණ්ඩය මඟින් පුද්ගලයකුගේ පෞරුෂය විදහා පාන බව නොරහසක්. ගැහැනු පිරිමි භේදයකින් තොරව සෑම පුද්ගලයකු ම තම හිසකේ විලාසිතාව ගැන උනන්දු වන්නේ ඒ නිසයි. එහෙත් ඇතැම් පුද්ගලයන් විශේෂයෙන් ම කාන්තාවන් රැල්ලට විලාසිතා කරනවා විනා තමාට ගැලපෙන ලෙසින් විලාසිතා නොකරන බවක් ඇතැම් අය දැකීමෙන් පෙනී යනවා.

කාන්තාවක් ලස්සන කරන්නට වගේම ලස්සන අඩු කරන්නත්, පෞරුෂය අඩු කරන්නත් හිසකේ විලාසිතාවලින් පුළුවන්. ඒ නිසා ම හෙයා කට් එකක් කිරීමට කලින් ඒ පිළිබඳ සිතා බැලිය යුතු වෙනවා. මෙහිදී අවධානය යොමු කළ යුතු කාරණා කිහිපයක් ම පවතී.

වයස, කෙස් කලඹේ ස්වභාව ආදිය ගැන සොයා බැලිය යුතුයි. අපේ රටේ බොහෝ දෙනකුට ස්වභාවයෙන් ම හිමි වී තිබෙන්නේ තරංගාකාර රැළි ස්වභාවකින් යුතු හිසකෙස්. මේ රැලි ස්වභාවෙන් යුතු හිසකෙස් තිබීමෙන් වාසියක් තිබෙනවා. කෙස් ප්‍රමාණය අඩු වුවත් රැලි ස්වභාව නිසා වැඩි හිසකෙස් ප්‍රමාණයක් තිබෙන බවක් පෙන්නුම් කරනවා. ඒත් ප්‍රමාණයෙන් අඩු හිසකෙස් තිබෙන අයකුට රැලි ස්වභාවක් නොමැති (ස්ටේ‍්‍රටිං වැනි) හිසකෙස් තිබුණොත් හිසේ කෙස් අඩුබව හොඳින් ම පෙනෙනවා.

එමනිසා රැලි ස්වභාවයෙන් යුතු හිසකෙස් හොඳ වුණත් එය හොඳින් රැක බලා ගන්න ඔබ දැනගත යුතුයි. දිග කොණ්ඩයකට වඩා කෙටි කොණ්ඩයක් නඩත්තු කිරීම අපහසුයි. බොහෝ දෙනෙක් හිතන්නේ කෙටි කොණ්ඩයක් නඩත්තු කිරීම ඉතා පහසු බවයි. කෙටි කොණ්ඩා මෝස්තරයක් තිබෙන විට එය හොඳින් කපා, නියමාකාරයෙන් පවත්වා ගත යුතුයි. ඒ වගේම එය පුද්ගලයාට ගැලපෙන හොඳ හෙයා කට් එකක් විය යුතුයි. සාමාන්‍යයෙන් පවසන්නේ සති 6කට වතාවක් වත් කොණ්ඩය කප්පාදු කළ යුතු බවයි. අවම වශයෙන් මාස දෙකකට වතාවක්වත් දිග කොණ්ඩයක් වුවත් කප්පාදු කිරීමක් සිදු කළ යුතුයි.

හොඳ හෙයා කට් එකක් කපා එය නිසි ලෙස සැකසූවත් නිවෙසට ගිය පසුත් එය නඩත්තු කරන්නේ කෙසේදැයි ඔබ දැනගත යුතුයි. මේ සඳහා කොණ්ඩයට ගැළපෙන ෂැම්පූ එක හා කන්ඩිෂනර් එක භාවිත කළ යුතුයි. ඒත් තවමත් හිසකෙස් ෂැම්පූ කරන්න බියක් දක්වන අය අප අතර සිටිනවා. ඔවුන් පවසන්නේ ෂැම්පු භාවිත කිරීමෙන් හිසකෙස් ගැළවී යනවා, කෙස් තුනී වෙනවා වැනි දේවල්.

ඒත් මතක තබා ගත යුතු වන්නේ සබන්වලින් නිසිලෙස හිසකෙස් පිරිසුදු නොවන බවයි. තමාගේ හිසකෙස්වලට ගැළපෙන ෂැම්පූ හා කන්ඩිෂනර් තෝරා ගත යුතුයි. වියළි කොණ්ඩයකට ඩ්‍රයි හෙයා ෂැම්පු හා කන්ඩිෂනර්, තෙල් සහිත හිසකෙස් සඳහා ඔයිලි හෙයා ෂැම්පු හා කන්ඩිෂනර්, සාමාන්‍ය කෙස්කලඹකට නෝමල් ෂැම්පු හා කන්ඩිෂනර්, විවිධ රසායනික දේ සිදු කළ කෙස් කලඹකට ඩැමේජ් හෙයා ෂැම්පු හා කන්ඩිෂනර් ද වර්ණ ගැන්වූ හිසකෙස් සඳහා කලර් හෙයා ෂැම්පු හා කන්ඩිෂනර් ද ලෙසින් ඒ ඒ හිසකෙස් සඳහා වූ ෂැම්පු හා කන්ඩිෂනර් තෝරා ගත යුතුයි. මෙය ඔබට තනිව සිදු කළ නොහැකි නම් කේෂලාවණ්‍ය ශිල්පියකු හමු වී උපදෙස් ලබා ගත හැකියි.

ලංකාවේ අපේ හිසකෙස් සඳහා අනිවාර්යයෙන් ම කන්ඩිෂනර් යෙදිය යුතුයි. කන්ඩිෂනර් හිස් කබලේ නොගෑවෙන ලෙස කෙස්වලට පමණක් යෙදිය යුතුයි. නමුත් සිල්කි කොණ්ඩයක් තිබෙන අයකුට කන්ඩිෂනර් යෙදීම අවශ්‍ය නොවේ. එහෙත් ලංකාවේ 90%ක් පමණ පිරිසකට කන්ඩිෂනර් අවශ්‍ය වේ.

2019/06/12 තරුණි බලන්න

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

රමණී ප්‍රනාන්දු