ලස්සන වෙන්න විටමින් E

ජුනි 19, 2019

රූමත් වෙන්න අකැමැති කිසිම කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ ආශාව ඈත අතීතයේ සිටම පැවැත එන්නක්. මේ වෙනුවෙන් අතීතයේ සිටම ළඳුන් විවිධ ක්‍රම අනුගමනය කරමින් ලස්සන වෙන්න උත්සාහ කරනවා. එහෙත් විවිධ ක්‍රම අනුගමනය කරලා තාවකාලික සුන්දරත්වයක් ලබාගන්නවාට වඩා දිගුකල් පවතින සුන්දරත්වයක් හිමිකර ගැනීමට සෞඛ්‍යාරක්ෂිත ක්‍රම උපයෝගී කරගැනීමයි වැදගත් වන්නේ.

විටමින් E කියන්නේ එවැනි දිගුකලක් ඔබේ සිරුර සුන්දරව පවත්වාගෙන යාමට අවශ්‍යවන සංඝටකයක්. මෙය ස්වාභාවික රූසපුව රැකදෙන ඉතා වටිනා ඖෂධයක්. රුධිර සංසරණය ක්‍රමවත් කිරීම, රුධිරයේ සීනි පාලනය කිරීම සහ සමහර පිළිකාවලට එරෙහිව ආරක්ෂාව සැපයීම නිසා මෙමඟින් මිනිස් සෞඛ්‍යය ආරක්ෂා වෙනවා. ඔක්සිකාරකයක් වන විටමින් E ප්‍රතිශක්ති වර්ධකයක් ලෙස ද ක්‍රියා කරනවා. ඒ වගේම විටමින් E මඟින් මිනිස් සමට සහ හිසකෙස්වලට ද විශේෂ සත්කාරයක් ලබාදෙනවා.

මේ හේතුව නිසාම තමයි වෙළෙඳපොළේ ඇති රුව වඩවන බොහෝ වාණිජ නිෂ්පාදන අතරින් ප්‍රමුඛස්ථානයක් විටමින් E ගනු ලබන්නේ. නමුත් එවැනි නිෂ්පාදන සඳහා වෙළෙඳපොළේ ඉහළ මිලක් අය කරනවා. ඇත්තෙන්ම අපි එවැනි ඉහළ මිලක් ගෙවා එම නිෂ්පාදන මිලදී ගත යුතු නැහැ.

ෆාමසියෙන් ඉතා පහසු මිලකට සපයා ගතහැකි විටමින් E තෙල් හෝ කරල් මඟින් ඔබේ නිවෙසේ සිටම රූපලාවණ්‍ය සත්කාරයන් කළ හැකියි.

හිසකෙස් වර්ධනය කරගැනීමට

රත්කර ගත් ඔලිව් තෙල් හෝ පොල් තෙල් මේස හැඳි දෙකකට විටමින් E කරල් දෙකක් මිශ්‍රකර හිස් කබලේ ආලේපකර හොඳින් ඇඟිලි තුඩුවලින් සම්බාහනය කරන්න. විනාඩි 30ක් පමණ තබා සෝදා හරින්න. මෙය සතියකට කිහිපවරක් සිදුකරන්න.

කැළැල් මැකීමට

විටමින් E කරලේ ඇති තෙල්, කැළැල් ඇති ස්ථානය මත ආලේපකර විනාඩි 5ක් පමණ සම්බාහනය කරන්න. එය විනාඩි 30 ක් පමණ තිබෙන්නට හැර උණුසුම් ජලයෙන් සෝදා හරින්න. නිසි ප්‍රතිඵල ලැබෙන තුරු දවසට දෙවරක් බැගින් මෙය සිදුකරන්න.

රැලි වැටීම අවම කරගැනීමට

රාත්‍රී නින්දට යාමට පෙර විටමින් E කරලේ ඇති තෙල් රැලි වැටී ඇති ස්ථානවල ආලේප කරන්න.

අවපැහැවීම් දුරු කිරීම

රාත්‍රී නින්දට යාමට පෙර එඬරු තෙල් මේස හැඳි දෙකකට විටමින් E කරල් දෙකක් එක්කර අවපැහැ ගැන්වුණු ස්ථානවල හොඳින් ආලේප කරන්න. පසු දින උදෑසන සෝදා හරින්න.

 

උපදෙස්

ඩුබායි, නෙදර්ලන්තය, මාලදිවයින සහ ටෙක්නික් ඉන්ටර්නැෂනල් ආයතනයේ පුහුණුවලත් නුගේගොඩ  perfect lady wax Studio & Salon  සහ කඩවත Degreens Salon හි රූපලාවණ්‍ය ශිල්පිනී

අරෝෂි කෞශල්‍යා

 

2019/06/19 තරුණි බලන්න