ස්වාභාවික ද්‍රව්‍යවලින් ගෙදරදීම ලස්සන වෙන්න..

ජූලි 10, 2019

ලස්සන වෙන්න කැමැති නිසාම බොහෝ කාන්තාවන් මාසිකව ආලේපන සඳහා වෙනම වියදමක් දරනවා. විවිධාකාර ක්‍රීම්, ටෝනර්, ක්ලෙන්සර් ආදිය සඳහා යන වියදම වගේම ඒවා කොතරම් දුරට සිරුරට හිතකරදැයි විටෙක සිතා බැලිය යුතුයි. කොතෙක් ආමන්ඩ්, දොඩම්, ගස්ලබු, පිපිඤ්ඤා ආදිය තිබෙනවා යැයි සඳහන් වුවත් මේ මූලික දෙයට අමතරව රසායනික ද්‍රව්‍යයද ඒවායෙහි අඩංගුයි.

එහෙත් ඒ ද්‍රව්‍ය අඩංගුකොට අපිට නිවෙසේදී ම රුව ලස්සන කරන පිළියම් සිදුකර ගත හැකි නම් එය පසුම්බියට වගේම ඔබේ සෞඛ්‍යයටත් වඩාත් හිතකර වේවි.

අපේ සම ලස්සනට තබා ගැනීමට නම් සිදු කළ යුතු ප්‍රධාන දේවල් කිහිපයක් තිබෙනවා. මේ සඳහා සම පිරිසුදු කිරීමට ක්ලෙන්සර්, සමට ප්‍රබෝධවත් නැවුම් පෙනුමක් ලබා දීමට ටෝනර්, සමේ තෙතමනය ආරක්ෂා කිරීමට මොයිස්චර්රයිසර් ආදිය අවශ්‍යයි.

එහෙත් මේ දේවල් කිරීමට පෙර තමාගේ සම කුමන වර්ගයේ සමක්දැයි දැනගෙන සමේ වර්ගයට අනුව ප්‍රතිකර්ම සිදු කළ යුතුයි.

වියළි හා සාමාන්‍ය සමක් ක්ලෙන්ස් කිරීම සඳහා පොල් වතුර, එළකිරි, තලතෙල් යොදා ගත හැකියි.

තලතෙල් මඟින් සමට දීප්තියක්, සමේ පැහැය වර්ධනය කිරීමක් සිදු කරනවා. තෙල් සමක් සඳහා දොඩම් යුෂ, ලෙමන් යුෂ සුදුසු වන අතර ඒවා තනුක කිරීම සඳහා වතුර බිංදු කිහිපයක් එක්කර මුහුණේ ගැල්විය යුතුයි.

සංවේදී සමට රෝස වතුර සුදුසු වන අතර රෝස වතුර ඔබට නිවෙසේ දීම සකසා ගත හැකියි.

ඒ සඳහා රෝසමලක පෙති වතුරට දමා විනාඩි 5-6 ක් පමණ තබා භාවිතයට ගන්න.

පිපිඤ්ඤා යුෂ ද මේ සඳහා යොදා ගත හැකියි.

මේ දේවල්වලින් සම නිරෝගී කරනවා පමණක් නොව පැහැපත්කර ඔබ ලස්සන කරනවා.

ටෝනර් ලෙස රෝස වතුර, මිංචි යුෂ ඔබට යොදා ගන්න පුළුවන්.

රුව රකින ස්වභාධර්මයේ මහඟු දායාදයක් වන මී පැණි ඔබට මොයිස්චර්රයිසර් එකක් ලෙසින් භාවිත කරන්න පුළුවන්.

තෙල් සහිත සමකට කෝමාරිකා මදය, පිපිඤ්ඤා යුෂ ආදිය ද මොයිස්චර්රයිසර් ලෙසින් ඔබට භාවිත කළ හැකියි.

වියළි සමක් ඇති අයකුට මෙන්ම වයස අයගේ සම රැලි වැටීම් අවමකර ගැනීමටත් කිරි වඩාත් සුදුසුයි.

සංවේදී සමක් ඇති ඔබට මොයිස්චර්රයිසර් එකක් ලෙස පිපිඤ්ඤා යුෂ වඩාත් සුදුසුයි.

 

2019/07/10 තරුණි බලන්න