රුව සොඳුරු කරන පුංචි පුංචි උපදෙස්

ජූලි 10, 2019

හැඩට රුවට ඉන්න සොබාදමේ තරම් කාන්තාවකට සොඳුරු දේ මැවුණු තවත් තැනක් නැති තරම්. බලන්න ලේසියට පහසුවට අප අවට ඇති දෙයින් කෙතරම් රූප සොබාවෙන් අග තැන්පත්වීමට හැකිදැයි කියලා.

කෙසෙල්

* අප රස බලන කෙසෙල් ගෙඩිය වගේම කෙසෙල් ලෙල්ල ද පෝෂණ ගබඩාවක්. රුපලාවණ්‍ය ආකරයක්.

*හානි වූ කෙස් වැටිය යළි කෙස් කලඹක් බවට පත්කරගන්න කෙසෙල් ගෙඩිය උදව් කර ගන්න පුළුවන්. මේ සඳහා ඉදුණු කෙසෙල් ගෙඩියක්, ඔලිව් තෙල් මේස හැඳි 1 - 2 ක් අවශ්‍යයි. කෙසෙල් ගෙඩිය බ්ලෙන්ඩර් කර ඔලිව් තෙල් සමඟ මිශ්‍රකර ගල්වන්න.

*කෙසෙල් ලෙල්ලේ ඇතුළු පැත්ත දත් මත දත් බුරුසුවෙන් මදින්නාක් මෙන් අතුල්ලන්න. දත් සුදු වෙනවා. මුහුණ කෙසෙල් ලෙල්ලෙන් මිනිත්තු 10 ක් පමණ සම්බාහනය කරන්න. පැය භාගයක් තබා සෝදා හරින්න.

* කුරුලෑ කැළැල් මකන්නත් කෙසෙල් ලෙල්ල යොදා ගන්න පුළුවන්. මේස හැන්දක ප්‍රමාණයේ කෙසෙල් ලෙලි කෑල්ලක්, කහ මේස හැඳි දෙකක් මේ සඳහා අවශ්‍යයි. කහ සහ කෙසෙල් ලෙල්ල පල්පයක් වනතුරු බ්ලෙන්ඩර් කරගන්න. කැළල් ඇති නැති හැම තැනම මිශ්‍රණය ගල්වා මිනිත්තු දහයකින් පහළවකින් සෝදා හරින්න.

* සම සුදු කිරීමට පොඩි කරගත් කෙසෙල් ලෙලි මේස හැන්දක ප්‍රමාණය, ලෙමන් යුෂ මේස හැන්දක ප්‍රමාණය අරගන්න. මේවා මිශ්‍රකර මුහුණේ ගල්වා මිනිත්තු 15 න් සෝදා හරින්න.

කොහොඹ

* රසයෙන් තිත්ත වුණු සොබාදමේ දායාද බොහොමයක් අත්පත් කර දෙන්නේ මිහිරි ප්‍රතිඵලයි. කොහොඹත් ඒ වගෙයි.

*කුරුලෑ නැති කිරීමටත් කුරුලෑවලින් ඇතිවන ආසාදන වැළැක්වීමටත් කොහොඹ තෙල් බින්දු 10 ක්, උණුසුම් පොල්තෙල් මේස හැඳි දෙකක් සමඟ මිශ්‍රකර කුරුලෑ ඇති පෙදෙසේ සෙමෙන් ගල්වන්න. පැයක් තබා ඇල්මැරුණු ජලයෙන් සෝදා හරින්න. දිනකට වරක් මෙසේ කිරීමෙන් ඉක්මනින්ම කුරුලෑවලින් ඉවත් වූ සමක් ලබා ගත හැකියි.

* කුරුලෑ නිසා සමේ ඇති වන විශාල කුරුලෑ කැළැල්, කුහර සඳහා ද මෙය පිළියමක්. කොහොඹ තෙල් බින්දු දෙකක් ජලයට මිශ්‍ර කරන්න. කපු පුළුන් කැබැල්ලක මිශ්‍රණය පොඟවා මුහුණේ ගල්වන්න. නින්දට පෙර මුහුණ පිස දමන්න. පසුදා උදෑසන ඇල්මැරුණු ජලයෙන් සෝදා හරින්න. දිනපතා මෙසේ සිදුකර මාසයකට පසු වෙනස අත්හදා බලන්න.

* වියළි සමට සහ එග්සීමා තත්ත්වයට කොහොඹ තෙල් ප්‍රතිකර්මය පිළියමක්. කොහොඹ තෙල් බින්දු කිහිපයකට පොල් තෙල් මේස හැන්දක් එක්කරන්න. ලැවෙන්ඩර් තෙල් බින්දු කීපයක් ද මිශ්‍ර කරන්න. මිශ්‍රණය ආසාදිත පෙදෙසේ ගල්වන්න. වියළෙන්නට හරින්න. ඉන්පසු සෝදා හරින්න. සතියකට වරක් හෝ දෙවරක් මේ ප්‍රතිකර්මය සිදුකරන්න.

2019/07/10 තරුණි බලන්න