සූර්ය නමස්කාරයෙන් සිරුරම සුරැකෙයි

ජූලි 24, 2019

හිරුගේ පැහැය ගෙන හිරු කිරණ මෙන් දස අතට විහිදෙන පෙති සමඟ සූර්යකාන්ත මල උදෑසන සිට හිරු අවරට යනතුරුම සූර්ය නමස්කාරයේ යෙදෙන්නේ මිනිස් සත්වයාට අනඟි පාඩමක් උගන්වමිනි. මනුසතා ද ඒ පාඩම උගත්තේය. සූර්ය නමස්කාරය නම් යෝගා ක්‍රමය සියවස් ගණනක් තිස්සේ පවත්වාගෙන එන්නෙකි.

ඉරියව් දොළහක් නැත්නම් ආසන දොළහකින් හිරුට නමස්කාර කිරීම මෙහිදී සිදුවෙයි. සූර්යාට අපේ රටේද හිමිවී ඇත්තේ වැදගත් ස්ථානයකි. සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීමත් සමඟ ලාංකේය අපට සිංහල සහ හින්දු අලුත් අවුරුද්ද උදාවෙයි. සූර්යයා අපට ලබාදෙන ජීව බලයට කෘතගුණ සැලකීමක් වශයෙන් ඇරඹුණු සූර්ය වන්දනාවට ආභාෂය ලැබුණේ ඉන්දීය යෝගීන්ගේ සූර්ය නමස්කාරයෙන් බවට මතයක් පවතී.

ඉන්දියාවේ හින්දු බැතිමතුන් වසර දහස් ගණනක සිට සූර්ය වන්දනාව කරන්නේ ජීවිතයේ අපල උපද්‍රව, කරදර බාධක ඉවත් කර ගැනීමටය. බෞද්ධයන් වූ අප ඒ ගැන කෙසේ සිතුවත් බෞද්ධ අපට ද සූර්ය නමස්කාරය නොගැළපෙන්නක් නොවෙයි. ඒ එය සිත සමාධි කරන නිසයි. වෛද්‍ය විද්‍යාත්මකව යෝගා සුවසෙත ඉහළ නංවන්නකි. ඉරියව් දොළහකට ශරීරය නම්‍යශීලී වන විට ශරීරයේ තාරණ්‍යය සුරැකෙයි.

අප විසින් පුරුදු පුහුණු කරනු ලබන හථ යෝග විද්‍යාවේදී සූර්ය, චන්ද්‍ර බලය දක්වා ඇත. දකුණු පස නාඩිය සූර්යාට සම්බන්ධ බවත් වම් පස නාඩිය චන්ද්‍රයාට සම්බන්ධ බවත් දැක්වෙයි.

සූර්ය නාඩිය බලය, ශක්තිය සහ ක්‍රියාකාරිත්වයට සම්බන්ධය. සූර්ය වන්දනාවෙන් පිංගලා නාඩියේ ක්‍රියාකාරිත්වය වැඩිකරගත හැකිය. ඉදා, පිංගලා සහ සුෂුම්නා යනුවෙන් ප්‍රධාන නාඩි තුනකි. කායික මානසික සුවතාවට පිංගලා නාඩිවල සුවතාව ඉතා වැදගත්ය. දිනපතා වාර 12 ක් සූර්ය ශ්ලෝක ගායනා කරමින් සූර්ය වන්දනාවේ යෙදෙන්නේ නම් අද වැඩි දෙනෙක් පීඩා විදින කායික, මානසික රෝග ගණනාවකට වැට බැඳිය හැකිය.

සූර්ය නමස්කාරයෙන් සිරුරේ පහළ කොටසට ශක්තිය ලැබෙයි. දෙපා, වළලුකර පාදය ඉන් ප්‍රධානය.

හදවතට සමීපවනසේ නමස්කාර ඉරියව්වෙන් දෑත් තබාගෙන සිටින විට මොළයේ වම් සහ දකුණු කොටස් සම්බන්ධ කිරීමක් ලෙස සැලකෙයි.

හිරුට කරන මේ ගෞරව දැක්වීමේදී රුධිර සංසරණය හොඳින් සිදුවී පෙණහලුවලට මනාලෙස ඔක්සිජන් ලැබෙයි. මෙවිට සිරුරේ විස බැහැරවීම ද මැනවින් සිදුවෙයි.

බර අඩුකර ගැනීම අද කාන්තාවන්ගේ, පිරිමින්ගේ, දරුවන්ගේ කෙටියෙන්ම කිවහොත් පවුලේම ප්‍රශ්නයකි. සූර්ය නමස්කාරයේ යෙදෙන්නකුට සිරුරේ වැඩි මාංසපේශින් අඩුවෙයි. උදරයේ විශාලත්ව අඩුකර ගැනීමට පුළුවන.

කාන්තාවන්ගේ ප්‍රියතම යෝගා ක්‍රමයක් බවට සූර්ය නමස්කාරය පත්වී ඇත්තේ ඔපවත් සමකට, සරු කෙස් කළඹකට හිමිකම් කීමට ඉරියව් දොළස උපකාරී වන නිසාය.

ආතතියෙන් දවස පුරාම පීඩා විඳින්නන්ට සූර්ය නමස්කාරය මනස සන්සුන් කරන සුව ඔසුවකි

නම්‍යශිලී බව, සුරැකෙන තුරු තුරුණු බවද සුරැකෙයි. ශාරීරික යෝග්‍යතාවක් නොමැතිකම වැඩිහිටි වියේදී වැටීමට ප්‍රධාන හේතුවකි. යොවුන් වියේ සිට යෝගා ව්‍යායාමවල නිරත වන්නන්ට දිගු කලක් සමබරව සිටීමට පුළුවන.

රුධිර පීඩනය නියමිත මට්ටමින් පවත්වා ගැනීමට මෙන්ම හෘද ස්පන්දනය ක්‍රමවත්ව සිදුවීමට, හෘද මාංසපේශි සවිමත් කිරීමට ද මේ ව්‍යායාම උපකාරි වෙයි. එපමණක් නොව රුධිරයේ සීනි මට්ටම වැඩි නොවන නිසා දියවැඩියා අවදානම ද අඩුවෙයි.

ආහාර ජීර්ණය හොඳින් සිදුවීම හේතුවෙන් උදරය ආශ්‍රිත ගැටලු පැන නොනඟියි. ඇදුම, පිළිකා වැනි බෝ නොවන රෝග රැසකින් රැකවරණය ලැබීමට සූර්ය නමස්කාරය උපකාරි වෙයි. ඒ සියල්ලටම වඩා සිත සමාධිගත කරන මේ යෝගා ක්‍රමයෙන් පිරිසුදු අධ්‍යාත්මය අවදිකරගත ැකිය.

මේ අසමසම ප්‍රතිඵල ලබාදෙන සූර්ය සමස්කාරයේදී සම්පූර්ණ කළ යුතු පියවර දොළසයි.

ප්‍රවීණ යෝගා උපදේශක
මෝහන හා මනෝ චිකිත්සක
ආචාර්ය චාමින් වර්ණකුල


2019/07/24 තරුණි බලන්න