රුව ගැටලු

ජූලි 24, 2019

ඇස් යට කළු වෙලා

අපේ ඇස් වටා පවතින්නේ වඩාත් සංවේදී සමක්. ඒ නිසාම ඇස සමඟ ගනුදෙනු කිරීමේ දී ද ප්‍රතිකාර කිරීමේ දී ද වඩා වැඩි සැලකිල්ලක් දැක්විය යුතුමයි. ඇස් වටා කළුවීම වයස් භේදයකින් තොරව ඕනෑම කෙනකු මුහුණ දෙන ගැටලුවක්. ඒ වගේම කාන්තා පාර්ශ්වයට පමණක් පොදු දෙයක් නොවන අතර එය පිරිම පාර්ශවය අතර ද දැකිය හැකි සුලබ තත්ත්වයක්.

ඇස් යට කළු වීමට හේතු කිහිපයක්ම බලපායි. ඒ අතර මානසික ආතතිය, අධික නිදි වැරීම, ශරීරය විඩාවට පත්වීම, ස්නායු ආශ්‍රිත රෝග හෝ ඇස් ආශ්‍රිත රෝගවලට ප්‍රතිකාර නොගෙන සිටීම, වැඩි වේලාවක් පරිගණකය ඉදිරියේ සිටිම සහ මුහුණේ ගල්වන විවිධ ආලේපන වැනි හේතුන් ද බලපානු ලබයි.

ඇස්වල ඉදිමීම හා ඇස් වටා කළුවීමට තේවල ඇති කැෆේන් හා ඇන්ටි ඔක්සිඩන්ට් උදවු වෙනවා. භාවිතකර, ඉවත් කළ තේ බෑග් ගෙන ශීතකරණයේ තබන්න. ඉන්පසු ඇස් මත මිනිත්තු 15 - 20ක් පමණ තබන්න. මේ සඳහා භාවිත කළ තේ කුඩු, පොට්ටනි ලෙස සකස්කර ශීතකරණයේ තබා පාවිච්චි කරන්නත් පුළුවන්. මෙය දිනපතා මාස තුනක කාලයක් කරන්න.

ඒ වගේම ශීතකළ නැවුම් කිරිවල පොඟවා ගත් පුළුන් කැබලි දෙකක් ඇස් මත තබා සිටීමෙන් ද සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකියි.

පිපිඤ්ඤා පෙති දෙකක් ඇස් මත තබා සිටීමෙන් හෝ මී කිරි සහ මී පැණි ඇස් වටා ආලේප කිරීමෙන් ද අඳුරු පැහැය ඉවත් කර ගත හැකියි. ඒ වගේම ඇස් අවට සම්බාහනය කිරීම ද ප්‍රතිඵලදායකයි.

කැඩී යන කෙස් කලඹට සත්කාරයක්

සුන්දර යුවතියකට පංච කල්‍යාණය අතුරෙන් හිසකෙස් කියන්නේ ඉතා වැදගත්ම කල්‍යාණයක්. හිස කෙස් පිළිබඳව නිසි අවධානයක් ඔබ යොමු නොකරනතාක් හිස කෙස්වලට හානි ගෙන දීම වළක්වා ගැනීමේ හැකියාවක් නම් නෑ. අද බොහෝ යුවතියන්ට හිසකෙස් සම්බන්ධව ගැටලුකාරි තත්ත්වයන් රැසක් පැවතුණත් නිසි විසඳුමකට යොමු වෙන්න තරම් අවබෝධයක් නැහැ. ඒ නිසාමයි හිසකෙස් පිළිබඳව ඔබ දැනුම්වත් විය යුත්තේ.

හිස කෙස් සම්බන්ධව කතා කරන විට හිස කෙස් කැඩීයාම, හිස කෙස්වල වියළි ස්වභාවය හා හිස කෙස් අග පලුදුවීම වැනි ගැටලු රැසක් පවතිනවා.

බොහෝවිට මෙම ගැටලුවලට මූලිකම හේතුව වන්නේ තම කෙස් කලඹට ගැළපෙන ෂැම්පු, කන්ඩිෂනර් වර්ගය තෝරා නොගැනීමයි. එමෙන්ම ගුණාත්මක බවින් අඩු නිෂ්පාදන භාවිත කිරීමෙන්ද මෙවැනි ගැටලු ඇතිවිය හැකියි.

වර්තමානයේදී ෆර්මිං, රිලැක්සිං, රීබොන්ඩිං, ස්ට්‍රේට්නිං, කලරිං වැනි හිස කෙස් විලාසිතා කිරීමට තරුණියන් දැඩි කැමැත්තක් දක්වනවා. මෙවැනි විලාසිතා කරන විට දී භාවිත කරන රසායනික ද්‍රව්‍යයන් ද කෙස් කලඹට හානි ගෙන දෙන්න පුළුවන්.

 

 

ලස්සන වෙන්න අපි කවුරුත් කැමැතියි. එයට වයස් භේදයක් අදාළ වන්නේම නැහැ. ඒ නිසාමයි තරුණ, තරුණියන්ට වගේම මැදි වයස පසුකරමින් සිටින අයත් රූපලාවණ්‍ය ගැන මෙතරම් උනන්දුවක් දක්වන්නේ.

ලස්සන කියන්නේ තමන්ට තමන්ගේ රුව ගැන ඇතිවන තෘප්තිමත්භාවය නොවේ ද? නිකැළැල්, පැහැපත් සමක් තමයි හැමෝගේම බලාපොරොත්තුව. ඒ වගේම දිදුලන, නිරෝගී කෙස් කලඹකින් රුවට වැඩි අලංකාරයක් ද එක් කරනවා.

එලෙස රුව ගැන වැඩි සැලකිල්ලක් දක්වන ඔබට රුව පිළිබඳ ගැටලු ඇත්නම් අපට ලියන්න. අප ඔබට ඉක්මන් සාර්ථක විසඳුම් ලබා දෙන්නෙමු.

අපේ ලිපිනය

රුව ගැටලු,

තරුණී, ලේක්හවුස්,

කොළඹ - 10.

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නයනා කුමාරි

 

2019/07/24 තරුණි බලන්න