රෝස මලක් වගේ නම් රූ රැජනක්ම තමයි

ජූලි 24, 2019

ඔයා රෝස මලක් වගෙයි. කවුරු හරි මෙහෙම කියනවා නම් තමන් රූප රාජිනියක් වගේම ලස්සනයි කියන හැඟීම ඕනම කාන්තාවකට ඇති වෙනවා. රෝස මල් ඇති රූ මාවතක ගමන් කරමින් රෝස වසන්තයක ජීවත් වෙන්න කොයි කවුරුත් කැමැතියි. මෙය යථාර්ථයක් නොවුණත් යථාර්ථයක් වනවාට අකැමැති කෙනෙක් මිහිපිට නැහැ.

සුන්දරත්වය, ආදරය කී සැණින් අපේ මතකයට නැඟෙන්නේ මල් ලොව රැජනක සේ සලකන රෝසයි.

රෝස මල අග්‍රප්‍රාප්ත වන්නේ අලංකාරයෙන් පමණක් නොවෙයි. එහි ඖෂධීය ගුණයක් ද තියෙනවා. ඒ වගේම සුන්දර රෝස මලට කාන්තාවක රෝස මලක් වගේ හැඩකාරියක් කරන්නත් පුළුවන්.

කඩන්න දුක හිතුණත් රෝස මලක් කඩලා කන්න පුළුවන් නම් සිරුරට පෝෂක ගණනාවක්ම ලැබෙනවා. කෑමට, රූ අලංකරණයට ඔසු ලෙස ගත යුත්තේ කෘමිනාශක නොයෙදූ ජාන වෙනස් නොකළ සොබා දහමෙන් අපට ලැබුණු රෝස පමණයි. සුවඳ වැඩි රෝස ගුණයෙන් ද රසෙන් ද වැඩියි. වසර දහස් ගණනකට පෙර ඉරාන කාන්තාවන් රුව හැඩකර ගැනීමට රෝස වතුර යොදාගෙන තියෙනවා.

රෝස වතුර සමේ ප්‍රදාහයන් වළක්වන ගුණයෙන් යුක්තයි. එග්සීමා වගේ සමේ රෝග ඇත්නම් රෝස වතුර ගැල්වීමෙන් සහනයක් ලැබෙනවා. සම පැහැපත් කරන, රැලි වැටීම වළක්වන ගුණයක් ද මෙහි පවතිනවා.

උගුර ආසාදනය වූ විට රෝස වතුරෙන් සෝදන්න. බොහෝ කලක සිට උගුරේ ආසාදනවලදී රෝස වතුරෙන් උගුර සෝදනවා.

කුරුලෑ අඩු කිරීමටත් සම රතුවීම වැළැක්වීමටත් ඉදිමීම් අඩු කිරීමටත් යොදාගන්නවා. රෝසවල බැක්ටීරියා දිලීර, වෛරස නාශක ගුණයක් පවතිනවා.

ඇස් රතුවී කබ ගැලීම වැනි අක්ෂි රෝග තත්ත්වයන්වලදී පිරිසුදු රෝස වතුර ඇස්වලට විදිනවා.

රෝස, මල් ලෝකයේ කෑමට ගත හැකි මල්වලින් එකක්. රෝස පෙතිවල විසනාශක/ප්‍රති ඔක්සිකාරක ගණනාවක්ම අඩංගුයි. ඒ විතරක් නොවෙයි ඇමයිනෝ අම්ල, විටමින් ඒ, බී කාණ්ඩයේ විටමින ගණනාවක්ම, විටමින් සී, ඩී, ඊ, කේ, පොටෑසියම් , කැල්සියම්, මැග්නීසියම්, යකඩ, සින්ක්, සෝඩියම්, තඹ, අයඩීන් යන ඛනිජ සහ විවිධ එන්සයිම ද රෝස පෙතිවල ගුණය වැඩි කරනවා.

 

2019/07/24 තරුණි බලන්න