රුව ගැටලු

අගෝස්තු 7, 2019

අළුහම් නිසා පීඩාවෙන්

ප්‍රශ්නය

26 හැවිරිදි මම අළුහම් නිසා පීඩා විඳිමි. මීට අවුරුදු 3කට පමණ පෙරදී පිට ප්‍රදේශයේ සුළු වශයෙන් අළුහම් තත්ත්වය දක්නට ලැබුණු අතර දැන් එය උරහිස සහ ගෙල ප්‍රදේශය දක්වා පැතිර යමින් තිබේ. මේ හේතුවෙන් මා දැඩි අපහසුතාවයකට පත්ව සිටී. මේ තත්ත්වය නිට්ටාවටම සුවකර ගත හැකි ද?

ගනේගොඩ - කාංචනා

පිළිතුර

අළුහම් යනු සමාජයේ බහුලව පවත්නා සමේ ඇතිවන ආසාදනයකි. එය ර්චතචඵඵඥලඪච ටභපටභප නම් වූ දිලීරයක් නිසා ඇති වේ. මෙම දිලීරය අපේ සම මතුපිට සාමාන්‍යයෙන් වාසය කරන ක්ෂුද්‍ර ජීවින්ගෙන් එක් වර්ගයක් වන අතර ප්‍රධාන වශයෙන් හිසෙහි සම, මුහුණ සහ පපුවෙහි කිසිදු කුෂ්ඨයක් සාදන්නේ නැතිව වර්ධනය වේ. නමුත්, ඇතැම් අයගේ සමෙහි ර්චතචඵඵඥඪච ජ්භපටභප දිලීරය වඩාත් සක්‍රීයව වර්ධනය වෙමින් අළුහම් නමැති කුෂ්ඨය සාදයි.

පරිසරයේ උණුසුම වැඩිවීම, පරිසරයේ තෙතමනය වැඩිවීම, අධිකව දහදිය දැමීම, පරම්පරාවේ අළුහම් ඇතිවීමට ප්‍රවණතාවක් පැවතීම, ඌන පෝෂණය, ප්‍රතිශක්තිය දුර්වලවීම වැනි හේතු නිසා මේ තත්ත්වය ඇති වේ. එහෙත් කලාතුරකින් මෙය බෝවීම නිසාත් ඇති වෙන්න පුළුවන්.

එය බහුලව මුහුණ, ගෙල, පපුව, පිට, කිහිලි, අත් සහ පාදවල හටගනී, ආසාදනය වූ ස්ථාන පැහැදිලිව පෙනෙන වර්ණය වෙනස් වූ ලප ලෙස දිස්වේ. එහි මතුපිට සියුම් පොතු පවතී. අළුහම් රෝස, තද දුඹුරු හෝ සුදුමැළි වර්ණයක් ගනී. අළුහම් ඇතිවිට වැඩිපුර දහදිය දැමීම සහ කැසීම ඇතිවිය හැකියි.

දේශීය පේර කොළ සහ ඇත්තෝර කොළ කොටා එම යුෂ අළුහම් සහිත ප්‍රදේශයේ දිනපතා ආලේපකර මඳ උණුසුම් ජලයෙන් සේදීම මඟින් මෙය සුවකර ගත හැකියි.

එමෙන්ම වෛද්‍ය උපදෙස් මත ලබාගත හැකි ක්‍රීම් වර්ග භාවිතයෙන් ද සුවකර ගැනීමේ හැකියාව පවතිනවා.

ඒ නිසා මෙවැනි ගැටලුවලදී රූපලාවණ්‍ය ශිල්පිනියක් වෙත යනවාට වඩා චර්ම රෝග වෛද්‍ය විශේෂඥවරයකු වෙත යොමු වීම වඩා ප්‍රතිඵලදායක වේ.

ගෙල පෙදෙස කළු වෙලා

ප්‍රශ්නය

36 හැවිරිදි දෙදරු මවක් වන මා පෙනුම ගැන වඩාත් සැලකිලිමත් වෙනවා. මාගේ මුහුණ පැහැපත්ය. එහෙත් ගෙල පෙදෙස කළු පැහැතිය. මේ සඳහා කුමක් කළ යුතු ද?

යට්ටෝගොඩ - දීපානි

පිළිතුර

මුහුණ කොතරම් පියකරු වුවත් ගෙල පෙදෙස අවපැහැ වෙලා නම් මුහුණේ සුන්දරත්වයට එය බාධාවකි. කාන්තාවන්ගේ උරහිස නිතරම අව්වට නිරාවරණය වීම නිසාත් අවපැහැවීම් ඇති වෙන්න පුළුවන්.

අපේ කාන්තාවෝ බොහෝ විට මුහුණ සෝදන විටදී හදිස්සියට මුහුණ පමණක් සෝදාගෙන උරහිස, පිට, ගෙල, කිහිලි ආදිය යන්තමින් තෙමා ගනී. එවිට මුහුණේ පැහැය ගෙලෙහි පැහැය සහ උරහිස් පැහැය එකිනෙකට වෙනස් වෙන්න පුළුවන්. ටෝනර් කිරීම, ස්ක්‍රබ් කිරීම, පැක් දැමීම ආදී සියලු සත්කාර කිරීමේ දී මුහුණට සමානව උරහිස්, ගෙල, පපු ප්‍රදේශය ආදී සියලුම නිරාවරණය වන ස්ථාන එකම සත්කාරයකින් අවසන් කිරීමයි කළ යුතු වන්නේ.

අපිරිසුදුකමට අමතරව දියවැඩියාව පරම්පරාවෙන්ම ගෙල කළු පැහැ වීම, අධික තරබාරුකම, තරබාරු වී සිහින් වීම ආදී හේතු ද ගෙල කළු පැහැ වීමට ප්‍රධාන වශයෙන් බලපානවා.

සති දෙකකට වරක් සීනි හෝ ලුණු කුඩු සමඟ කෝමාරිකා මිශ්‍රකර ස්ක්‍රබ් කිරීමෙන් ඔබට ගෙල පෙදෙස පැහැපත්කර ගත හැකියි.

ඊට අමතරව දෙහි ගෙඩියක් කපා රැයක් වතුරේ දමා තියා උදේට ඒ දෙහි කෑලි ගෙලෙහි සහ උරහිසෙහි මෘදුව අතුල්ලන්න.

ඒ වගේම මුදවපු කිරි හෝ යෝගට් එකකට කස්තුරි කහ ස්වල්පයක් දමා ආලේපකර විනාඩි 20 කින් සෝදා හරින්න. මෙම සත්කාරය සතියකට දෙවරක් මාස දෙකක් පමණ කිරීමෙන් ප්‍රතිඵල ලබාගන්න පුළුවන්.

පීඩාකාරී අනවශ්‍ය රෝම

ප්‍රශ්නය

මාගේ ඇහි බැම සහ උඩු තොලෙහි නිතරම රෝම හට ගනී. රූපලාවණ්‍ය ආයතනයකට ගොස් ඒවා සැකසුවත් සති දෙකකින් නැවත රෝම හට ගනී. දෑත් සහ දෙපාවල ද ඝනව රෝම හට ගනී. මා ඒවා රේසර් භාවිතයෙන් ඉවත් කරන නිසා දෑත්, දෙපාවල සම ගොරෝසු වී ඇත. 29 හැවිරිදි මා ලබන වසරේදී විවාහ වීමට බලාපොරොත්තුවෙන් සිටිමි. මාගේ ගැටලුවට පිළිතුරක් ලබාදෙන්න.

මාවතගම - ඩිලානි

පිළිතුර

කාන්තාවෝ හැමෝම ලස්සනට ඉන්න කැමැතියි. නමුත් ශරීරයේ විශේෂයෙන්ම මුහුණේ ගොඩක් වේගයෙන් අනවශ්‍ය විදිහට රෝම වැවෙනවා නම් එයින් ගෙන දෙන්නේ අවලස්සනක්.

එපමණක් නොව ඇතැම් කාන්තාවන්ගේ දෑත්, දෙපා. උදරය, පපුව, පිට යන ස්ථානවලත් මේ විදිහට රෝම වැවෙන්න පුළුවන්. මෙයට ප්‍රධාන හේතුව වන්නේ කාන්තා සිරුරේ ඇතිවන හෝර්මෝන වෙනස්කම්ය. හෝර්මෝනවලට ප්‍රතිකාර කිරීමෙන් ද මේ ගැටලුවට ප්‍රතිකාර කරන්නට පුළුවන්.

ශරීරයේ හට ගන්නා අනවශ්‍ය රෝම ඉවත් කිරීමට කිසිදු විටක රේසරය භාවිත නොකරන්න. එයින් සිදුවන්නේ රෝම තව තවත් වර්ධනය වීමයි. එමෙන්ම රේසරය නිසා සමේ මතුපිට සෛල විනාශ වී සමට හානි සිදුවෙනවා. ඒ සම ගොරෝසු වන්නේ ඒ නිසායි.

දෑත් සහ දෙපා සඳහා වැක්ස් කිරීමෙන් රෝම ඉවත් කරන්න. එයින් රෝම මූලයෙන්ම ගැලවී යන නිසා නැවත රෝම හට ගැනීමට ප්‍රමාද වෙනවා. එමෙන්ම සමට මෘදුබවක් ද ලැබෙනවා.

මුහුණ සඳහා ත්‍රෙඩිං ක්‍රමය උපයෝගී කරගන්න. ඒ සමඟම හෝර්මෝන පිළිබඳ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගන්න.

 

 

උපදෙස්

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

මානෙල් කොටුවේගොඩ