දහදිය කරදරෙන් බේරෙන්න

අගෝස්තු 7, 2019

දහදිය සිරුරේ විස බැහැර කරන ක්‍රමයක්. එහෙත් කිසිම කෙනෙක් ගත දහදියෙන් තෙමී යනවාට නම් කැමැති නැහැ. හිසේ සිට පාදාන්තය දක්වා දහදිය දමන විට අසහනය සිතේ රජකරනවා. විදුලි පංකාවක් අසලටයාම යාම, වායු සමීකරණය කළ කාමරයකට යාම හෝ ස්නානය කිරීම මඟින් යම් සහනයක් ලැබුවත් දිගින් දිගටම මේ කරදරයෙන් නිදහස් වෙන්න නම් ලැබෙන්නේ නැහැ. දහදිය දුගඳ නම් ප්‍රශ්නය තවත් බරපතළයි.

දහදිය ගැලීම අඩු කරගත හැකි ක්‍රම

ඇපල් සයිඩර් විනාකිරිවලට සිරුරේ පීඑච් අගය සමතුලිතව තබාගැනීමට පුළුවන්. ඒ වගේම ඒවාට දහදිය දුගඳට හේතුවන බැක්ටීරියා විනාශ කිරීමට, රෝම කූප විවර නොවී වසා ගැනීමටද හැකියාව තිබෙනවා.

වතුර වීදුරුවකට ඇපල් සයිඩර් විනාකිරි මේස හැඳි 2 ක් එක්කරන්න. පුළුන් කෑල්ලක් ඒ මිශ්‍රණයේ පොඟවා දහදිය දමන තැන්වල කෙළින්ම ගල්වන්න. නින්දට යාමට පෙර මෙසේ ගල්වන්න. මිශ්‍රණය ගෙල පිටුපස, පාදවල, කිහිලි යට, අත්ලේ ආදී තැන්වල ගල්වන්න පුළුවන්. පසුවදා අවදි වූ පසු ඒ තැන් සෝදා හරින්න.

තක්කාලි විටමින් ‘සී’ අධික හොඳම විස නාශකයක්. (ප්‍රතිඔක්සිකාරකයක්) ඒවාගේම සිරුර පවිත්‍ර කිරීමටත් යොදා ගන්න පුළුවන්. තක්කාලි දහදිය දමන රෝම කුප පවිත්‍රව තබා ගැනීමටත් උපකාරි වෙනවා. දිනපතා තක්කාලි යුෂ වීදුරුවක් පානය කරන්න. දහදිය කරදරේ නැත්තටම නැති වේවි.

කටට සැර කෑමබීම රුධිර සංසරණය උත්තේජනය කරනවා. මේවායින් ශරීර උෂ්ණත්වය ද ඉහළ නැංවෙනවා. විශේෂයෙන්ම මිරිස්වල කැප්සෙයිසින් අඩංගු නිසා මේ කාර්ය හොඳින්ම සිදු කෙරෙනවා. උණුසුම් කාල ගුණයක් පවතින විට දහදිය දැමීම අඩුකර ගැනීමට මිරිස් රස බලන්න.

ලුණු අපේ ආහාරවේලට ඇතුවත් බැරි නැතුවත් බැරි රස කාරකයක්. වැඩිපුර ලුණු කෑවොත් අධික රුධිර පීඩනයට ගොදුරුවීමේ අවදානමක් පවතිනවා. දහදිය අධික අයටත් ලුණු එතරම් හොඳ නැහැ. ඒ ලුණු අධික ආහාර නිසා දහදිය ද අධික ලෙස දමන නිසයි.

කෙනෙක් බියට, ආතතියට, කාංසාවට පත් වූ විටත් අධික ලෙස දහදිය දමනවා. ආනාපානාසතිය වැනි සිත සමාධිගත කරන ක්‍රමයකින් ආතතිය, බිය, කාංසාව පළවා හරින්න.

දහදිය සමඟ මේක්අප් රැක ගැනීමේ යුද්ධය

කාන්තාවන් කොයි කවුරුත් මේක්අප් දාන්නෙ තමන්ගෙ රූපය අන් ලියන් ඉදිරියේ වඩාත් කැපී පෙනෙන රුවක් බවට පත්කර ගැනීමටයි. ඒත් දහදිය බිඳු කිහිපයකින් මේක්අප් සියල්ල දියවී යාමට පුළුවන් වුණත් දහදිය දැම්මත් මේක්අප් සුරක්ෂිතව වැඩි කාලයක් පවත්වාගත හැකි ක්‍රම තිබෙනවා.

පුයර දැමීමෙන් වෙන්නේ දහදිය දැමීමත් සමඟ සමේ රැලි වඩාත් කැපී පෙනීම පමණයි. ඒ නිසා දහදිය අධික අයට පුයර දැමීම ප්‍රතිඵලදායක නැහැ.

සිරුර උණුසුම් විට මේක්අප් නොදමන්න. එවිට මේක්අප් උරාගෙන බලාපොරොත්තු වන අලංකාරය ලැබෙන්නේ නැහැ. සම සිසිල් විටක මේක්අප් දමන්න. එසේ නැත්නම් මේක්අප් දැමීමට සුළු වේලාවකට පෙර කිහිපවරක් සිසිල් ජලයෙන් මුහුණ සෝදන්න.

ෆවුන්ඩේෂන්ස් වර්ග තලප මෙන් ගල්වන්න එපා. විශේෂයෙන් උණුසුම් පරිසරයක් ඇති විට ෆවුන්ඩේෂන් ක්‍රීම් දියවෙනවා. තෙල් රහිත ෆවුන්ඩේෂන් ක්‍රීම් පාවිච්චි කරන්න. මේක්අප් කිරීමේදී තෙල් රහිත ආලේපන වර්ගම හැකි තරම් තෝරා ගන්න. ඇස් හැඩ කිරීමේදී පුයර වෙනුවට ක්‍රීම්වර්ග ගන්න. ජල ප්‍රතිරෝධී මස්කාරා ග්‍රීෂ්මයට කදිමයි. තද පැහැයන්ට වඩා ළා පැහැයන් මේක්අප් දැමීමේදී තෝරා ගන්න. විශේෂයෙන් ඇස් වටා යොදන මේක්අප් ළා පැහැවීම වැදගත්.

 

2019/08/07 තරුණි බලන්න