තාරුණ්‍යයෙන් දිදුලන සමකට නැතුවම බැරි තක්කාලි

අගෝස්තු 21, 2019

තක්කාලි නැති කරවල හොද්දක්, කරවිල ව්‍යංජනයක් ගැන හිතන්න පුළුවන් ද? සලාදයකට තක්කාලි නැත්නම් මනාලියක් නැති මඟුල් ගෙදරක් වගෙයි. අපේ ආහාර වේලට විතරක් නෙවෙයි රුවත්, සුවයත් සුරකින්න තක්කාලි නැතුවම බැහැ. හරිත පැහැ පරිසරයක රක්ත වර්ණයෙන් දිළෙමින් අලංකාරයක් එක්කරන තක්කාලි ගෙඩිය අපේ රුව, සුවය නංවන්නේ මෙලෙසයි.

පෝෂණ බලාගාරය

තක්කාලි ගෙඩියක සියයට 95 ක්ම තිබෙන්නේ ජලයයි. තන්තු ග්‍රෑම් 1.2 ක් ද, කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 3.9ක් ද, ප්‍රෝටීන ග්‍රෑම් 0.9ක් ද මේදය ග්‍රෑම් 0.2 ක් ද ග්‍රෑම් 100 ක තක්කාලි ගෙඩියක අඩංගුයි. මීට අමතරව මෙහි විටමින් සී, පොටෑසියම්, විටමින් කේ, ෆෝලේට් ද අඩංගු වී තිබෙනවා. විටමින් ‘කේ’ අස්ථිවල සුවය රකින්නත් රුධිරය කැටි ගැසීමටත් අත්‍යවශ්‍යයි. ගර්භණී මවුවරුන්ට ෆෝලේට් (ෆෝලික් අම්ලය) නිර්දේශ කරන්නේ මවු පදවියට උරුමකම් කීමටත් පෙර සිටයි. පිරිමින්ගේ ශුක්‍රාණු වැඩි කිරීමේ ගුණයක් ද මෙහි පවතිනවා.

තක්කාලි ගෙඩියට රතු, පැහැදෙන ලිසොපීන්, ප්‍රතිඔක්සිකාරකයක්. (සිරුරට පිටතින් එන විස විනාශ කරන රසායනයක්). තැඹිලි කහ පැහැය ලෙල්ලට එක් කරන බීටා කැරොටීන් සිරුරේදී විටමින් ‘ඊ’ බවට පත්වෙනවා. මෙහි අඩංගු ක්ලෝරොජෙනික් අම්ලයට අධික රුධිර පීඩනය අඩු කිරීමේ ගුණයක් තිබෙනවා.

හදවතට සුව ඔසුවක්

හෘද රෝග සහ ආඝාතය මරණයට හේතුවන ප්‍රධානම රෝග දෙකක්. අලුත්ම පර්යේෂණවලින්, මැදි වයසේ පුද්ගලයන්ගේ රුධිරයේ ලිසොපීන් සහ බීටා කැරොටීන් අඩුවීම හදවත් රෝග,ආඝාතය වැලඳීමේ ඉඩ ඉහළ නංවන බව සොයාගෙන තිබෙනවා. අහිතකර කොලෙස්ටරෝල් (එල් ඩී එල්) අඩුකිරීමට මීට ඇති හැකියාව මේ කෙරෙහි බලපාන බවට විද්‍යාඥයන් අනුමාන කරනවා. රුධිර නාවල අභ්‍යන්තර පටලයේ ආරක්ෂකයෙක් ලෙස ක්‍රියාකරන නිසා රුධිරය කැටි ගැසීමේ ඉඩ අඩුවෙනවා.

කාන්තාවන් පියයුරු පිළිකාවලින් බේරා ගැනීමේ හැකියාව තක්කාලිවල අඩංගු කැරොටනයිඩවලට තිබෙනවා.

සම පැහැපත් කරයි

දිනපතා සති 10 ක් තක්කාලි යුෂ සහ ඔලිව් තෙල් මිශ්‍රකර ගැල්වීමෙන් හිරු එළියෙන් දුර්වර්ණ වූ සම යළි පැහැපත් කරගත හැකියි. මුහුණේ ද මේ මිශ්‍රණය ගැල්විය හැකියි.

කහ සහ තක්කාලි යුෂ මිශ්‍රකර මුහුණේ ගැල්වීමෙන් සමේ විස ගතිය ඉවත් වෙන අතර බ්ලැක්හෙඩ්ස් ඉවත් කිරීමට මේ කදිම අත්බෙහෙතක්. හාල් පිටි ද කහ සහ තක්කාලි යුෂ මිශ්‍රණයට එක්කළ යුතුයි. හාල් පිටි තේ හැඳි 2ක්, කහ තේ හැඳි 1/4ක් හොඳින් මිශ්‍රකර ඊට නැවුම් තක්කාලි යුෂ එක්කර පල්පයක් සාදා ගන්න. මුහුණ පුරාම ගල්වන්න. බ්ලැක්හෙඩ්ස් ඇති තැන්වල වැඩිපුර ගල්වන්න. ගැල්වූ මිශ්‍රණය වියළුණු පසු මඳ උණුසුම් ජලයෙන් සෝදා හරින්න.

දිදුලන සමකට

තක්කාලි යුෂ, මී පැණි සමාන ප්‍රමාණවලින් ගෙන කපු පුළුන් කැබැල්ලකින් මුහුණේ ගල්වන්න. මිනිත්තු 10 ක් තබා සෝදා හරින්න.

සුදෝසුදු සමකට ඕට්මීල් (ඕට් ධාන්‍යයේ පොත්ත) තක්කාලි යුෂ මිශ්‍රකර මුහුණේ ගල්වා වියළෙන්නට හැර සෝදන්න.

කඩල පිටිවලින් සමේ වියළුණු සෛල ඉවත්වෙනවා. තක්කාලි යුෂ සහ කඩල පිටි යෝගට්, මී පැණි සහ කහ ස්වල්පයක් සමඟ මිශ්‍රකර පල්පයක් සාදා මුහුණේ ගැල්වීමෙන් තාරුණ්‍යයෙන් පොපියන සමක් ඇතිකර ගත හැකියි.

මේ සඳහා අවශ්‍ය ඉදුණු තක්කාලි ගෙඩියක්, යෝගට් කෝප්ප 1ක්, මී පැැණි තේ හැඳි භාගයක්, කඩල පිටි මේස හැඳි 2ක් සහ කහ ස්වල්පයක් පමණයි.

මේ මිශ්‍රණය ගල්වා මිනිත්තු 10-15 ක් තබා ඇල් මැරුණු ජලයෙන් සෝදා හරින්න.

 

2019/08/21 තරුණි බලන්න