වධකාර හිසකේ ප්‍රශ්න වලට වදමලෙන් විසඳුම්

අගෝස්තු 28, 2019

හැඩකාර වූව ද සුවඳ නැති නිසා වද මලට මල් ලොව සුවිශේෂී ස්ථානයක් හිමි වී නැත. වද මල වෙනුවෙන් ගී පද පබැඳී නැතත් ගී වැල් පබැඳෙන්නට තරම් ගුණයක් මෙහි පවතී. විවිධ පැහැයන්ගේ වදමල් ඇතත් ඖෂධීය ගුණයෙන් ඉහළ රතු වදමල්ය.

*කේශ කල්‍යාණයට නැතුවම බැහැ.

වදමල්වල හිස කෙස් වර්ධනය කිරීමේ ගුණයක් පවතී. අකලට හිසකෙස් පැසීමත් වළක්වයි. උෂ්ණාධික සිරුරට සිසිලසක් ගෙන දෙයි. හිස් කබලට රුධිර සැපයුම වැඩි කරයි. කෙස්වලට අවශ්‍ය පෝෂක උරා ගැනීමට ද ආධාර වෙයි.

පිත දොස උග්‍ර අයට සහ රෑ බෝවන තුර වැඩ කරන අයට වදමල් තැම්බූ වතුර පානය කිරීම ගුණදායකය.

*වදමල් තෙල්

වදමල්, උළුහාල්,පොල්තෙල් වල රත්කර පෙරා බෝතලයකට දමා දිනපතා හිස් කබල සම්බාහනය කිරීමට යොදා ගන්න.

වදමල් කොළ සහ මල් පල්පයක් සාදා පිරිසුදු පොල් තෙල්වල මඳ ගින්නේ රත් කරන්න. ජලය නැතිවන තුරු රත්කර පෙරා පිරිසුදු වීදුරු බෝතලයක අසුරන්න. හිස් කබල සම්බාහනය කිරීමට කදිමයි.

ළපටි වදමල් කොළ ජලය සමඟ මිශ්‍රකර පල්පයක් සාදා ගැල්වීමෙන් හිස් කබල කැසීම, දැවිල්ල වැනි අපහසුතාවලට සහනයක් ලබා ගත හැකිය.

*හිස සෝදන දියරයක්

වදමල් පෙති 10ක් වතුර කෝප්ප දෙකක (මිලිලීටර් 500ක) රැයක් ගිල්වා තබන්න. පසු දින වද මල් අතින් හොඳින් මිරිකා පෙරා ගන්න. වදමල් සාරය කෙස්වල ගල්වා හිස ආවරණය කරගන්න. (ෂවර් කැප් යොදා ගත හැකියි.) මිනිත්තු විස්සකට පසු සෝදා හරින්න.

*තැන තැන කෙස් යනවාට

හිසේ තැනින් තැන කෙස් ගැල වී යාම තරුණ වැඩිහිටි කියා වෙනසක් නැතිව වැඩි දෙනකු මුහුණ දෙන ගැටලුවකි. ආයුර්වේදයට අනුව නම් මෙසේ වන්නේ අධික ශරීර උෂ්ණත්වය නිසයි. මෙවැනි තත්ත්වයක් ඇති නම් වදමල් කොළ 6 - 8 සහ වදමල්වලින් පල්පයක් සාදා ගන්න. හිසකේ ගැල වී යන තැන්වල මිශ්‍රණය හොඳින් ගල්වන්න. පැය තුනක් තබා සෝදා අරින්න. මෙය සතියට දෙවරක් කරන්න. හිසකේ මුල්වලට පෝෂණය ලබා දී හිසකේ යළි වර්ධනයට මඟ පාදයි.

හිසකෙස් තුනී වීම බොහෝ කාන්තාවන් මුහුණ දෙන ගැටලුවකි. කිතුල් රෑනක් මෙන් ඝන කෙස් වැටියකට හිමිකම් කීමට අවශ්‍ය එක වද මලක්, වද කොළ 3 - 4ක්, යෝගට් මේස හැඳි හතරක් පමණි. වද මල් හා කොළ අඹරා පල්පයක් සාදා ගන්න. ඊට යෝගට් මේස හැඳි 4 එක් කර මිශ්‍ර කරන්න. මිශ්‍රණය හිස් කබලේ ගල්වා පැයක් පමණ තබා ඇල් මැරුණු ජලයෙන් සෝදා හරින්න. සතියකට දෙවරක් මෙසේ කරන්න.

වදමල් කොළ සහ මල් මේස හැඳි 3 ක යුෂ නෙල්ලි කුඩු මේස හැඳි 3ක් සමඟ මිශ්‍ර කර පල්පයක් සාදා හිස මිනිත්තු 40ක් ආවරණය කර තබන්න. කෙස් ඝන වෙයි.

*හිස්හොරි නාශකයක්

උළුහාල් ඇට මේස හැඳි 1ක්, වද කොළ මිටක්, එළඟි තෙල් කෝප්ප කාලක් මේ හිස් හොරි නාශකය සෑදීමට අවශ්‍යය. රැයක් පුරා උළුහාල් පෙඟෙන්න තබන්න. උදෑසන උළුහාල් ඇට වද කොළ සමඟ අඹරා ඊට එළඟි තෙල් එක් කරන්න. පැයක් පමණ මිශ්‍රණය තිබෙන්නට හැර මෘදු ෂැම්පු වර්ගයක් භාවිත කර සෝදන්න.

*වදමල් ෂැම්පු

මේ වෙළෙඳපොළෙන් ගන්නා ෂැම්පුවල විස ගැන කතා බහ කෙරෙන කාලයකි. එවන් කාලයක වදමල් වැනි ස්වාභාවික ෂැම්පුවර්ගයක් පාවිච්චි කළ හැකි නම් මොන තරම් යහපත් ද? වදමල් 5ක්, වද කොළ 15ක්, වතුර කෝප්ප 1ක්, කඩල පිටි මේස හැඳි 1ක් මේ සඳහා අවශ්‍යයි.

වතුර කෝප්පයක ජලයේ වදමල් සහ වද කොළ තම්බා ගන්න. සිසිල් වන්නට හැර ඊට කඩල පිටි එක් කරන්න. ඉන්පසු හිස කෙස් ගල්වා සෝදා හරින්න. සතියකට තෙවරක් මේ වද මල් ෂැම්පු භාවිත කළ හැකියි. වදමල්වලින් කන්ඩිෂනර් ද සෑදීමට පුළුවන. මේ සඳහා වදමල් අටක් සහ වතුර කෝප්පයක් අවශ්‍යය.

වදමල් තලා පල්පයක් සෑදෙන ගණනට ජලය එක් කරන්න. පල්පයක් සෑදුණු පසු එය හිසේ ගල්වා පැයක් තබා ඇල් මැරුණු ජලයෙන් සෝදා හරින්න. සතියකට දෙවරක් මෙසේ කෙස් සෝදන්න.

ඉඟුරු යුෂ, වද මල් කොළ සංයෝගය ද බිත්තර සුදු මද සහ වද මල් යුෂ සංයෝගය ද, කොහොඹ කොළ සහ වදමල් කොළ සංයෝගය ද කෝමාරිකා ජෙල් සහ වදමල් සංයෝගය ද, කරපිංචා සහ වදමල් කොළ සංයෝගය ද නීරෝගි කෙස් කළඹක් හිමිකර දෙයි.

සුදෝ සුදු කෙස් කළඹ වයස් කල්‍යාණය පිළිබඳ කාන්තාවකගේ සිහිනය බොඳ කරන්නකි. වෙළෙඳපොළේ මොනතරම් සුදු කෙස් කළු කරන නිෂ්පාදන තිබුණ ද ඒවා වැඩි දෙනකුට අසාත්මිකය. එවැනි කාන්තාවන්ට වද මල් රැගෙන එන්නේ සුබ ආරංචියකි. වදමල් මෙන්ම වදමල් කොළ සතුව කළු කෙස් සුදු කිරීමේ අපූරු හැකියාවක් ඇත. වදමල් සහ වද කොළ උණු වතුරේ රැයක් තබන්න. පසු දින එම දියරයෙන් හිස සෝදන්න.

වදමලක් මෙන් හැඩකාරියක් වෙන්න කියා කිසිවකු නොපැවසුව ද තාරුණ්‍යයෙන් පිරි පැහැපත් සමකට හිමිකම් කීමට වදමල් යුෂ ගැල්වීමෙන් පුළුවන.

වදමල් යුෂ පානයෙන් කෙනකුට හදවත් රෝගවලින්, රක්ත හීනතාවෙන් අධික රුධිර පීඩනයෙන් ආරක්ෂා වී සිටිය හැකිය. අක්මාවට ද හිතකරය. වදමල් පෙති 5ක් නටන ජලයට එක්කර වදමල් තේ පහසුවෙන්ම සාදා ගැනීමට පුළුවන.