මේක්අප් උපකරණ බෙදා හදා ගන්න එපා

අගෝස්තු 28, 2019

මිතුරුකමට අප තෑගි බෝග බෙදා හදා ගතතාට කෑම බීම බෙදාගෙන කෑවාට මේක්අප් කට්ටලයේ ආලේපන උපකරණ නම් බෙදා ගැනීම උණ සෙම්ප්‍රතිශ්‍යාව ඇති කෙනකු සිප ගැනීම වගේ දෙයක්.

උත්සවයකට යාමට අවසන් මොහොතේ මිතුරියගෙන් මේක්අප් ඉල්ලා ගන්න පුරුද්ද ඔබෙත් ඇති. ඒත් මොන තරම් හදිසියකටවත් හුවමාරු නොකරගත යුතු රූපලාවණ්‍ය නිෂ්පාදන ගණනාවක් තිබෙනවා.

මේක්අප් බුරුසු

සියලුම මේක්අප් බුරුසු, ස්පොන්ජිස් බැක්ටීරියා ආකර. කෙනකුගෙන් කෙනකුට ආසාදන ඇති කිරීමට හොඳටම ප්‍රමාණවත්. කුරුලෑ ඇති වන්නේ සමේ අභ්‍යන්තරයෙන් වුවත් ඊට හුවමාරු කරගන්නා බුරුසුවක බැක්ටීරියා ද හේතුවීමට පුළුවන්.

මේක්අප් බුරුසුවල බැක්ටිරියා විනාශ කිරීමට සතිපතා ඇල්කොහොල් ඉස ෂැම්පුවලින් සෝදන්න.

ලිප්ස්ටික්/ලිප් බාම්

ලිප්ස්ටික් - ලිප් බාම් නිතරම හුවමාරුකර ගන්නා දෙයක්. ඒත් හුවමාරුකර ගැනීමත් සමඟ උණ සෙම්ප්‍රතිශ්‍යාවට, විවිධ ආසාදනවලට හේතුවන බැක්ටීරියා ද දායාද වෙන්න පුළුවන්.

මස්කාරා

මේ ඇස් රෝග වැඩි කාලයක්. මස්කාරා හුවමාරු කර ගෙන භාවිත කිරීමෙන් ඉතා ලේසියෙන්ම ඇස් ලෙඩ (කන්ජන්ක්ටිවිටිස්) ආදී අක්ෂි රෝග බෝවන්න පුළුවන්. සමෙහි ආරක්ෂක පටලයක් ඇස්වලට නැති නිසා පහසුවෙන්ම ආසාදනය වෙනවා.

මොයිෂ්චර්රයිසර් භාජන

භාජනයකට ඇඟිලි දමා අරගන්නා විට බැක්ටීරියා ගණනාවක් ඊට එකතු වෙනවා. එකිනෙකා හුවමාරු කර ගනිද්දී සමට බැක්ටීරියා පහසුවෙන්ම එකතු වෙනවා. අවසානයට වෙන්නේ විවිධ සමේ රෝගවලට ගොදුරු විමය.

හෙයා(ර්) බ්‍රෂ්

හිස් කබලේ ආසාදන, හිස් හොරි බෝවීමට ඇති හොඳම ක්‍රමය හෙයා(ර්) බ්‍රෂ් හුවමාරුවයි.

කුඩා භාජනවල එන රූපලාවණ්‍ය ආලේපන

මොයිෂ්චර්රයිසර් පමණක් නොව ඇඟිල්ල දමා ගත යුතු ක්ලෙන්සර්, ඩේ / නයිට් ක්‍රීම්, ඇස් ආලේපන, ෆවුන්ඩේෂන්, ලිප් බාම් සියල්ලම පහසුවෙන් බැක්ටීරියා තෝතැන්නක් බවට පත්වීමට පුළුවන්. කෑමට පෙර අත් සේදිම වාගේම මේක්අප් කිරීමට පෙරද සබන් ගා අත සෝදනවා නම් බැක්ටීරියා ආකර බවට පත්වීම යම් තරමකට වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා. සමට ගල්වන ආලේපනවලින් සියයට හැටක්ම සමට උරා ගන්නවා.

ලිප් ග්ලොස්

ලිප් ග්ලොස්වල ස්වභාවය අනුව පහසුවෙන් බැක්ටීරියා වෛරස වර්ධනය වෙනවා. මේ නිසා ලිප් ග්ලොස් හුවමාරුවන් ලේසියෙන්ම සෙම්ප්‍රතිෂ්‍යාව වැලඳෙන ක්‍රමයක්.

දත් බුරුසු

මේක්අප් කට්ටලයේ නැතත් දත් දෙපළ හැඩට තබා ගන්න දත් බුරුසු නැතිවම බැහැ. දත් බුරුසු හුවමාරුවද ඉතාමත් භයානක හුවමාරුවක්. අපේ මුව හොඳ නරක බැක්ටීරියාවලින් පිරී ඉතිරි ගිහින්. අනුන්ගේ දත් බුරුසුවලින් මැදීමෙන් සිදුවන්නේ අන් අයගෙ නරක බැක්ටීරියා ද තම මුව ආක්‍රමණය කිරීමයි. උදේ, රාත්‍රී ආහාරයෙන් පසු දත් නොමදින කෙනෙක් නම් වැඩිපුර නරක බැක්ටීරියා වර්ධනය වෙනවා.

රේසර්

මල නොබඳින ලෝහයෙන් සාදා ඇති නිසා බැක්ටීරියා වැඩි කාලයක් රැඳී නොතිබුණ ද ඉතා භයානක ලිංගිකව සම්ප්‍රේෂණය වන ලිංගික ඉන්නන් (ජෙනිටල් හර්පීස්) වැනි තත්ත්ව මෙමඟින් වැලඳිය හැකියි.

මේ අතර මිතුරුකමට හුවමාරු කර ගත හැකි ආලේපන ද තිබෙනවා. සුවඳ විලවුන්, කොණ්ඩා නිෂ්පාදන, ෆවුන්ඩේෂන්, ලෝෂන් ඒ අතර ප්‍රධානයි. ලිප් සහ අයි පෙන්සිල් ද බැක්ටීරියා රැඳීමට ඉඩ අඩු තැන්ය. ඇල්කොහොල් මිශ්‍ර මේක් අප් ඉසිනයකින් ලිප් සහ අයි පෙන්සිල් අග ගිල්වීමෙන් වඩාත් පිරිසුදුව ඒවා තබාගැනීමට පුළුවන්

නේල් පොලිෂ්වල වර්ධනය විය හැකි බැක්ටීරියා කාණ්ඩ ඇත්තේ ඉතා සුළු සංඛ්‍යාවක්. එහෙත් නේල් පොලිෂ් ගල්වන උපකරණවල බැක්ටීරියා තිබෙන්න පුළුවන්.

 

මේක්අප් බුරුසු පිරිසුදුව තබා ගැනීම ඉතා වැදගත්. කුරුලෑ අපිරිසුදු මේක්අප් බුරුසු නිසා ඇතිවිය හැකි තත්ත්වයක්.

මේ සඳහා අවශ්‍ය ස්පේ‍්‍ර බෝතලයක්, උණු ජලය මිලි ලීටර් 50, කන්ඩිෂනර් තේ හැඳි 1, රබිං ඇල්කොහොල් (ඉසෝප්‍රොෆිල් ඇල්කොහොල්) මිලි ලීටර් 50, ටී ට්‍රී සගන්ධකාරක තෙල් බින්දු 5 ක් පමණයි. උණුවතුරට කන්ඩිෂනර් හොඳින් දිය කරන්න. රබිං ඇල්කොහොල් ටී ට්‍රී සගන්ධකාරක තෙල් සමඟ මිශ්‍ර කර ඊට එක්කරන්න. ස්පේ‍්‍ර බෝතලයට දමන්න. මේක් අප් බුරුසුවලට ස්ප්‍රේ බෝතලයෙන් මිශ්‍රණය ඉසින්න. ඉන්පසු පිරිසුදු රෙදි කැබැල්ලකින් පිස දමන්න. කුරුලෑ සහිත සමක් ඇත්නම් නිතර බුරුසු මේ මිශ්‍රණයෙන් සෝදන්න.

රැයක් පුරා ලිප්ස්ටික් ශීතකරණයේ තැබීමෙන් බැක්ටීරියා විනාශ වෙයි.

මේක්අප් බුරුසු, ඩිෂ් සෝස් සහ ඔලිව් තෙල් මිශ්‍රණයකින් සෝදා පවිත්‍ර කළ හැකිය.

මස්කාරා, ෆේස් පීල්ස්, ෆේස් මාස්ක් ආයු කාලය මාස 2 - 3 කට සීමා වෙයි. දියරමය අයිලයිනර්, දියරමය ෆවුන්ඩේෂන්, කන්සිලර්, කුරුලෑ ආලේපන සහ ශෝදන, අයික්‍රීම්, ෆේස් වොෂ්, සමේ මාස හයේ සිට වසරක් දක්වා කාලයක් තබා ගත හැකියි.

වසරක් වසර එකහමාරක්, ලිප් ග්ලොස්, ක්‍රීම් අයිෂැඩෝ, ෆේස් ක්‍රීම්, සන්ස්ක්‍රීන්, ෂවර් ජෙල්, අයිබ්‍රෝ ජෙල්, තබා ගැනීමට හැකි අතර ලිප්/අයි පෙන්සිල්, ලිප්ස්ටික්, නේල් පොලිෂ්, අයිෂැඩෝ, කුඩු, බ්ලෂ්, බොඩි ලෝෂන්, ස්ක්‍රබ්ස් දෙවසරක් තබා ගැනීමට පුළුවන.

ෂැම්පු සහ කන්ඩිෂනර්, බොඩි ලෝෂන් සුවඳ විලවුන්, හෙයාර්ස්ප්‍රේ තෙවසරක ආයු කාලයක් හිමි මේක්අප් නිෂ්පාදනයි.

 

කොස්මොපොලිටන් ඇසුරිනි