ඔබ කොතරම් වටිනවා ද?

සැප්තැම්බර් 25, 2019

අටලෝ දහමට අනුව ඉදිරියට ඇදෙන අපේ ජීවිත හරිම අවිනිශ්චිතයි. දුක අස්සෙන් මතුවන සතුට, නින්දා යටකරගෙන සිත සනසන ප්‍රශංසා අපව ජීවත් කරවනවා. කොහොම වුණත් හිමිදිරි පාන්දර ගත සිත ප්‍රාණවත්ව අවධි වෙන්නට හැමදාම ලැබෙන්නේ නම් එය සැනසිල්ලකි.

පාවෙන වලාකුළක සිසිලස, සැහැල්ලුව සේ නිදි දෙව් දුවට තුරුලුවෙන්නට ලැබෙන්නේ නම් එයත් කාන්තා අප ලබන වාසනාවකි.

ජීවිතය මහා දුරක් පිළිබඳ මනින්නට කෝදු නැතත් දවසේ ආරම්භය සහ අවසානය දක්වා සෑම තත්පරයක්ම සුන්දර කරන්නට පුළුවන් වීම භාග්‍යයකි.

ඒ වෙනුවෙන් කාන්තා අපේ සියුම් සිතැඟියාවන් නිවැරැදිව උද්දීපනය කර ගැනීම ප්‍රමාණවත්ය.

එදිනෙදා කටයුතු පිළිවෙළකට පිරිසුදුව කිරීමට පුරුදු වීම අප නැවුම් ලොවකට කැන්දා ගෙන යයි.

ලෝකයේ සතුටින්ම ජීවත්වන මිනිසුන්ට හැමදේකම හොඳම දේ නැහැ.

නමුත් ඔවුන් තමන්ට තිබෙන දේ හොඳම දේ බවට පත්කර ගන්නවා. කාන්තාවන් ගොඩක් වෙලාවට තමන් ගැන සෑහීමකට පත්වෙන්නේ හරිම අඩුවෙන්. තවත් සමහරුන්ට ආත්මාභිමානයක් ඇත්තෙම නැහැ. සැබැවින්ම මිනිසාට අවශ්‍ය පුර්ණත්වයෙන් පූර්ණත්වයට පත්වීමටයි.

විශේෂයෙන්ම කාන්තාවන්ට ලෞකික වශයෙන් දියුණුවේ මුදුනට නැඟුණත් මහත් හිස්බවක් දැනෙනවා.

තමන්ට තමන් ගැන තෘප්තිමත් වීමට බැරිවෙලා තියෙනවා. ‘අපි ගෑනුනේ’ ‘ගෙදර වැඩනේ’ ‘අපිට ඕව බැහැනේ’ නොයෙක් නොයෙක් හේතු දක්වමින් තමන්ගේ අභිමානය තමන්ගේ ආශාවන්, සතුට, සුන්දරත්වය තම පවුල මතම දියකර හරිනවා.

ඔබ, ඔබේ වටිනාකම හඳුනාගෙන නැහැ. අපි කවුරුත් සර්වසම්පූර්ණ නැහැ. අපි, අප ළඟ තිබෙන දුර්වලතා හඳුනාගත යුතුයි.

අප සතු හැකියාවන් දක්ෂතා හඳුනාගත යුතුයි. අපට තිබෙන අවස්ථාවන් සොයාගත යුතුයි. පරාජය ගැන සිතලා අපි දුර්වල විය යුතු නැහැ. ඔබ ඔබව හරියට හඳුනා ගත්තා නම් ඔබ මනසින් වැටෙන්නේ නැහැ.

ඔබ හොඳ දියණියක්, හොඳ මවක්, හොඳ බිරියක්, යෙහෙළියක්, ස්වාමි දියණියක්, නායිකාවක්, මේ භූමිකා තුළින් අපි අපව හඳුනාගන්නවා.

හැමෝම ආදරය කරනවා නම් හැමෝම අගය කරනවා නම් එවිට අපට අප ගැන ආත්මාභිමානයක් ඇතිවෙනවා. මේ ආත්මාභිමානය ගොඩනඟා ගන්න එක, කාන්තාවකට ඉතාම වැදගත්.

ඔබ ඔබව අන් අය සමඟ සමාන කරන්න අකැමැතියි. අපි හැමවෙලාවෙම සිතන්නේ අපි තමයි නිවැරැදි කියලා. අපිට වඩා කෙනෙක් නැහැ කියලා.

හැම මොහොතෙම හැමෝම, අපිව අගයනවා නම් අපට ඊට වඩා දෙයක් නැහැ. අප මොනම විදිහකට හිටියත්, උස ද කොට ද කළු ද සුදු ද මහත ද කෙට්ටු ද මේ මොනවත් නෙමෙයි වැදගත්. සමාජය ඔබව හොඳින් පිළිගන්නවා නම්, හැමෝම ඔබට ආදරෙයි නම් ඔබ සතුටු වෙනවා. ඔබ ආඩම්බර වෙනවා.

නමුත්.... අපිට එහෙම අගය කිරීම, ගෞරවය, ආදරය හැමෝගෙන්ම ලැබෙනවා ද? අඩුම ගානේ අපේ ගෙදරින් අපිට ලැබෙනවා ද? හැමෝටම නැහැ.

 

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2019/09/25 තරුණි බලන්න