කුස පුරවන බතින් රුව හැඩ කරමු මෙලෙසින්

ඔක්තෝබර් 2, 2019

තුන්වේලම බතින් සප්පායම්වීම ලාංකේය අපට පාරම්පරික උරුමයක් බඳුය. ගස් ගල් කැඩීමට තරම් සවියක් අපේ මුතුන් මිත්තන්ට ලැබුණේද බතින් සහ බතටම සරිලන ව්‍යාංජන මඟින් ලැබුණු පෝෂණයේ බල මහිමයෙනි. ලොව රටවල් සියයකට වැඩි ගණනක ප්‍රධාන ආහාරය වන්නේ බතය. ජනගහනයෙන් බහුතරයක් වයස අවුරුදු සියය ඉක්මවූ ආයු කාලයකට හිමිකම් කියන ජපානය බතක මහිමය ලොවට නිහඬවම පවසයි.

පොත්ත සහිත රතු කැකුළු සහල්වල තන්තු, විටමින් බී කාණ්ඩවන තයමින් (බී 1), පිරිඩොක්සීන් (බී 6), මැග්නීසියම්, පොස්පරස්, සිලේනියම්, මැංගනීස් යන පෝෂක අඩංගුය.

සුදු සහල්, රතු කැකුළු සහල්වලට සාපේක්ෂව ගුණයෙන් අඩුය. පොටෑසියම්, කාබෝහයිඩ්‍රේට්, තන්තු, යකඩ, ෆෝලෙට්, සහල්වල අඩංගු අතර යකඩ සහ ෆෝලේට් රතු කැකුළුවලට වඩා තිබීම සුදු සහල්වල ඇති එකම සුවිශේෂී බවයි. ප්‍රතිඔක්සිකාරක සහ අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ල ද වැඩි රතු කැකුළු සහල්වලයි.

දියවැඩියා අවදානම අඩුකිරීමට

වැඩිහිටියන්ට වැළඳෙන දියවැඩියාවට (දෙවැනි වර්ගයේ දියවැඩියාව) බත් වැඩිපුර කෑම ද හේතුවක් බව අධ්‍යයන මඟින් හෙළි වුණත් එසේ වන්නේ සිරුරට දහදිය දමන තරම් වෙහෙස මහන්සිවී වැඩ නොකර අධික බත් ප්‍රමාණයක් කෑමට ගත් විට පමණි. එතරම් සිරුර වෙහෙසන්නේ නැත්නම් එක් වේලකට බත් ග්‍රැම් 45 - 50 කට වඩා ආහාරයට ගැනීම සුදුසු නැත. අපේ බත් පිඟානේ සියයට විසි පහක් ප්‍රෝටීන්ද සියයට විසි පහක් ධාන්‍ය සහ පිටි සහිත ආහාර ද, සියයට පනහක් එළවළු ද තිබිය යුතුය. ඊට අමතරව පලතුරු හෝ කිරි ආහාරයක් ද එක් කළ හැකි වෙයි. බත්වලින් අපට ලැබෙන්නේ පිෂ්ඨයයි. පාන්පිටි ආහාරවලින් ලැබෙන්නේ ද පිෂ්ඨයයි. මේ දෙකම වැඩිපුර ගැනීමෙන් දියවැඩියා අවදානම ඉහළ යයි. බාස්මතී, රතු කැකුළු, සුවඳැල්, කළු හීනටි සහල්, මාවී, පච්චපෙරුමාල්, කුරුළුතුඩ වැනි දේශීය සහල් ආහාරයට ගැනීමෙන් දියැවඩියා අවදානම අඩු කරගැනීමට පුළුවන.

ආසනික් විස හරණය

සහල්වලට විවිධ කෘමිනාශක යෙදීම බත් රස බැලීමේදී අප මුහුණ දෙන තවත් ගැටලුවකි. වාසනාවකට දැන් විස නැති කාබනික සහල් වෙළෙඳපොළේ තිබේ. බාස්මතී සහල්වල අනෙක් සහල්වලට වඩා අඩු ආසනික් ප්‍රමාණයක් අන්තර්ගතය. සුදු සහල්වලට වඩා දුඹුරු සහල්වල වැඩි ආසනික් ප්‍රමාණයක් අඩංගු එහි කුරුට්ට නිසයි. වාසනාවකට සහල්වල විස පහසුවෙන් ඉවත් කළ හැකිය. ඒ සඳහා රැයක් පුරා සහල් පෙඟෙන්න තබන්න. පසුදා සහල් සෝදන්න. සහල් කොටස් එකකට ජලය කොටස් පහක් එක්කර තම්බන්න. ජලයේ පෙඟීමේදීත්, තැම්බී වාෂ්ප වශයෙන් පිටවීමේදීත් ආසනික් ඉවත් වෙයි.

 

සැම විටම කෑමට තෝරා ගත යුත්තේ කාබනික සහල් වර්ගයි. එවිට වෙහෙසවී විස ඉවත් කිරීමට අවශ්‍ය නොවෙයි.

 

ඉන්දියානු ආයුර්වේද උපදෙස් ඇසුරිනි

 

2019/10/02 තරුණි බලන්න