කිරි වතුරෙන් නැහැ වීලා කිරි පැහැයෙන් හැඩවීලා

ඔක්තෝබර් 9, 2019

මවගේ සෙනෙහසින් එරෙන කිරි බිඳක රස නොබැලූ දරුවකු මිහිතලයේ නැති තරම්ය. එනිසාම දිවි ඇති තුරු දිව ඉල්ලන රසක් බවට කිරි රසය පත්වී ඇත. ‘කිරි රස දන්නෝ මවු හඳුනන්නෝ’ මෙන්ම කිරි රස දන්නෝ සුවයත් රූ සපුවත් ඉහළ නංවාගන්නෝ වෙති.

කාර්යබහුල ජීවන රටාවක් ගත කරන අපට කිරි ඉතා වැදගත් වන්නේ ක්ෂණික ආහාරයකට වඩා ආහාර වේලක අඩුව පිරවීමට කිරි වීදුරුවක් සමත් බැවිනි. එහි සිරුරට අවශ්‍ය සෑම පෝෂකයක්ම වාගේ අඩංගුවී තිබේ.

එක් කිරි කෝප්පයක (මිලිලීටර් 240 ක) කැලරි 149 ක්ද, ජලය 88% ක්ද, ප්‍රෝටීන් ග්‍රෑම් 7.7 ක්ද කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 11.7 ක්ද සීනි ග්‍රෑම් 12.3 ක්ද මේදය ග්‍රෑම් 8 ක් ද අඩංගුය.

ජලයේ දියවෙන ‘වේ’ ප්‍රෝටීනයත් දිය නොවන ‘කේසීන්’ ප්‍රෝටීනයත් කිරිවල ඇති අතර මේ දෙකම අපට අත්‍යාවශ්‍ය ඇමයිනෝ අම්ලවලින් පොහොසත් වෙයි. එමෙන්ම හොඳින් ජීර්ණයද සිදුවෙයි.

‘කේසීන්’ කිරිවල සියයට අසූවක් තිබෙන ප්‍රෝටීනයයි. කේසීන් ප්‍රෝටීනය කැල්සියම්, පොස්පරස් වාගේ ඛනිජ ලවණ උරා ගැනීමේ හැකියාව වැඩි දියුණු කරයි. එලෙසම රුධිර පීඩනය අඩු කිරීමට ද ආධාර වෙයි. ‘වේ’ ප්‍රෝටීනය රුධිර පීඩනය අඩු කරනවාට අමතරව ආතතියෙන් සහනයක් ලබා ගැනීමට ද උපකාරි වෙයි. මාංසපේශි වර්ධනයටත් පවත්වාගෙන යාමටත් ‘වේ’ ප්‍රෝටීනය අවශ්‍යය. ක්‍රීඩකයන් සහ කායවර්ධනය කරන්නන් අතර කිරි මෙතරම් ජනප්‍රිය පානයක් වී ඇත්තේ එනිසයි.

කිරිවල අඩංගු මේදය මතභේදයට ලක්වූ මාතෘකාවකි. ස්වභාවික මේද එකතුවක් ඇති ආහාර අතර කිරි ප්‍රමුඛස්ථානයක් ගනී. මෙහි විවිධ වර්ගයේ මේද අම්ල 400 ක් පමණ අඩංගුය. මේද අම්ල ප්‍රතිශතයෙන් සියයට හැත්තෑවක් පමණ ඇත්තේ සංතෘප්ත අම්ලය. බහු අසංතෘප්ත අම්ල 2.3% ක් ද ඒක සංතෘප්ත මේදය 28% ක්ද මෙහි තිබේ. ඊට අමතරව ට්‍රාන්ස් මේදයද කිරි නිෂ්පාදනවල ස්වාභාවිකවම අඩංගුය.

විටමින් බී12 ශරීරයට අත්‍යාවශ්‍ය විටමිනයක් වන අතර මේ පෝෂකය අඩංගුවන්නේ සත්ව ආහාරවල පමණි. කිරි ඒ අතරින් ප්‍රමුඛස්ථානයක් ගනී. කිරිවල බී12 ඉතා ඉහළ ප්‍රතිශතයක් අඩංගුවෙයි.

කැල්සියම් වචනයත් සමඟ කිරි ද බැඳී පවතී. කිරි පානය කැල්සියම් ලබා ගැනීමට ඇති හොඳම ක්‍රමයක් වෙයි. එලෙසම කිරිවල අඩංගු කැල්සියම් සිරුරට හොඳින් උරාගැනීම ද සිදුවෙයි. එනිසා කැල්සියම් ලබාගැනීමට නම් කිරි පානය කිරීම අත්‍යාවශ්‍යය. විටමින් ‘බී2’ මෙහි අඩංගු තවත් වටිනා පෝෂකයකි. අස්ථිවල සෞඛ්‍යයට මෙන්ම ශරීරයේ ජීව ක්‍රියාවලීන් රැසකට නැතුවම බැරි පොස්පරස් මෙහි ඉහළ ප්‍රමාණයකින් අන්තර්ගතය.

විටමින් ‘ඩී’ වැනි ආහාර මඟින් පහසුවෙන් ලබා ගත නොහැකි විටමින කිරිවලට එක්කර ලබා දෙයි.

ආයුර්වේදයට අනුව කිරි පූජනීය ආහාරයකි. වෙනත් කිසිදු ආහාරයකින් ලද නොහැකි වටිනා පෝෂක රැසක් අඩංවී තිබීම ඊට හේතුවයි.

විවිධ සතුන්ගේ කිරි පානය කළද සතුන්ගේ කිරි අතරින් වඩාත් පෝෂ්‍යජනකම පානය ලෙස සලකන්නේ එළකිරිය. කිරි පානය කිරීමෙන් වා පිත් සෙම් දොස් තුනම සමනය වෙයි. එහෙත් කිරි පානයෙන් සෙම වැඩිවන බවට මතයක් පවතී. එසේ වන්නේ නිසි අයුරින් කිරි පානය නොකළ විටය. කිරි පානය කළ යුත්තේ උණුවෙනි. ඊට සීනි එක් නොකළ යුතුය. කිරි උණු කිරීමේදී ඊට අඹරාගත් කහ ස්වලපයක්, කුරුඳු පොත්තක්, ගම්මිරිස් හෝ ඉඟුරු ස්වල්පයක් එක් කිරීමෙන් වැඩි ගුණයක් ලබා ගත හැකිය. වෙනත් කිසිදු ආහාරයක් සමඟ කිරි මිශ්‍ර නොකිරීම ද ඉතා වැදගත්ය.

කෙතරම් ගුණ නමුදු කිරි වුවත් අධික ලෙස පරිභෝජනය නොකළ යුතුය.

අභ්‍යන්තර සිරුර මෙන්ම බාහිර සිරුර හැඩ කිරීමටද කිරි උපකාර වෙයි.

කිරි ස්නානය

කිරි සහ මී පැණි සුසංයෝගය ඉපැරැණි කාලයේ සිට සමේ ගැටලුවලට පිළියම් කරද්දීත් සමට පෝෂණයක් ලබාදීමේදීත් යොදා ගනී. මීපැණි - කිරි සුසංයෝගයෙන් සම සිනිදු වෙයි. සමෙහි වියළි ගතිය නැතිවෙයි. මිය ගිය සෛල ඉවත්වෙයි.

සමේ කැසීම්, ආසාදනවලින් සහනයක් ලැබීමට හැකිවෙයි. සම වියපත් වීමේ වේගය අඩුකරයි. අධික ලෙස වෙහෙසුණු දිනක කිරි, මී පැණි මිශ්‍ර ජලයේ ස්වල්ප වේලාවක් සිටින්න. ගතට වගේම සිතටත් සහනයක් ලැබේ. ලැවෙන්ඩර් වැනි සගන්ධකාරක තෙල් එක් කිරීමෙන් සුවඳත් ගුණයත් වැඩි කරගත හැකි වෙයි.

මුහුණ පැහැපත් කිරීමට නැවුම් කිරිවලට දෙහි යුෂ ස්වල්පයක් මිශ්‍රකරන්න. වියළි සමක් ඇත්නම් මේ මිශ්‍රණයට රෝස වතුර ස්වල්පයක් එක්කරන්න. මුහුණේ සහ බෙල්ලේ ගල්වා මිනිත්තු 30 ක් තබන්න. ඉන්පසු ඇල්මැරුණු ජලයෙන් සෝදන්න.

නැවුම් කිරිවලට කඩල පිටි තේ හැඳි 2/3 ක් එක්කර හොඳින් මිශ්‍ර කරන්න. ඊට මී පැණි බින්දු කිහිපයක් සහ රෝස වතුර ද එක්කර ගසාගන්න. (බීට්කරන්න) මුහුණේ ගල්වා මිශ්‍රණය වියළුණු පසු සෝදා හරින්න.

සම පිරිසුදු කිරීමට මුං ඇට කුඩු නැවුම් කිරිවලට මිශ්‍රකර පල්පයක් සාදා ගන්න. ඒ මිශ්‍රණය මුහුණේ ගල්වා මිනිත්තු 10 ක් තබන්න. ඉන්පසු සෝදා ඉවත් කරන්න.

කිරි මේස හැඳි කිපයක් සහ පොඩි කරගත් ඉදුණු කෙසෙල් හොදින් මිශ්‍ර කරන්න. සමට ගල්වා මිනිත්තු තිහකින් සෝදා හරින්න. සමේ තෙතමනය සුරැකෙයි.

කිරි කෝප්ප භාගයක්, බේකිං සෝඩා මේස හැඳි 2, පොඩි කරගත් තක්කාලි පල්ප මේස හැදි 1, පොඩි කරගත් අර්තාපල් මේස හැඳි 1 මිශ්‍රකර ගැල්වීමෙන් කුරුලෑ කැළැල් නැතිකරගත හැකිය.

සම පැහැපත් කිරීමට කිරි සහ ලෙමන් යුෂ සමාන කොටස්වලින් ගල්වන්න.

වියළි සහ හානිකර කෙස් කළඹකට කිරි මේස හැඳි 3, කෙසෙල් ගෙඩි භාගයක්, මී පැණි මේස හැඳි 1, ඔලිව් තෙල් මේස හැඳි 1 ක් මිශ්‍රකර හිස්කබලේ ගල්වන්න. පැයක් තබා සෝදන්න.