මොනර පිලක්වන් කෙස් කලඹක්

නොවැම්බර් 6, 2019

පංච කල්‍යාණයෙන් හෙබි යුවතියකගේ රූසිරි නොකිව මනාය. මේ අතරින් පෝෂණයෙන් හෙබි, නිරෝගී කෙස් කලඹක්, දිගු කෙස් කලඹක් හිමිව තිබීම ඇගේ අරුමැසි බව මොනවට විදහා දක්වයි.

දිගු කෙස් කලඹක්, නිරෝගී කෙස් කලඹක් යුවතියකගේ සැබෑ සොඳුරු බවෙහි සලකුණක්. එහෙත් ආහාර හා විහරණ රටාවෙහි ඇති අඬුලුහුඬුතා නිසාදෝ රූපලාවණ්‍ය ගැටලු අතරින් වැඩිමනක් ඒවා කේශ කලාපය ආශි‍්‍රත ඒවා ය.

සිරුරේ උතුම්ම අංගය හිසයි. මොළයේ ආරක්ෂාවට හිස් කබල අලංකාර කිරීමට හිසකෙස් පිහිටා ඇත. හිසකෙස් රැකගැනීමට නම් හිසෙහි චර්මය රැකගත යුතුය. බාහිර ආපදාවලින් එය සුරක්ෂිත කරගත යුතුය. එසේ නම් හිරු එළියට නිරාවරණය වන හිසකෙස්, හිසෙහි චර්මය රැකගැනීමට කුඩයක්, හිස් ආවරණයක් පැලඳිය යුතුමය. අපි නිතරම උණුවතුරින් හිසකෙස් සේදීම හා අධික ශීතල වතුරින් ස්නානය ද රාත්‍රී කාලයේ ස්නානය ද නොකළ යුතුය. සෙම් රෝග ආදිය නොමැති විටදී ගලායන ඇල්දියෙන් දිනපතා ස්නානය කොට හිසකෙස් පිරිසුදුව තබාගැනීම අතිශය වැදගත් ය.

අප එදිනෙදා ගන්නා ආහාරවල අඩංගු රසායනික ද්‍රව්‍ය නිසා ද අකලට හිසකෙස් ගැලවී යයි. පිරිසුදු තත්ත්වයෙන් යුතු ආහාරපාන ගැනීම, ප්‍රෝටීන, ඛනිජ ලවණ, තුත්තනාගම්, යකඩ, විටමින් බී, සංකීර්ණ මේදය අන්තර්ගත සමබල ආහාරවේලක් ගැනීම ද සුදුසුය.

ඔබ භාවිත කරන කෘත්‍රිම හෙයාර් ක්‍රීම්, හෙයාර් ස්ප්‍රේ වර්ග කොණ්ඩය වියළන උපකරණ භාවිතයෙන් ද වැළකීම පිළිබඳ සැලකිලිමත් විය යුතු වේ.

හිසකෙස් පැසෙන්නේ ඇයි ?

හිසකෙස් සුදුවීමත් සමඟින් අප වයසට ගියාදෝ යැයි හැඟීමක් ඇති වේ. වත්මනේ බොහෝ දෙනාගේ හිසකෙස් පැසෙන්නේ අකලටයි. සිරුරේ පැහැය මෙන්ම හිසකෙස්වල පැහැය ද ඇති කරනුයේ මෙලනින් මඟිනි. මෙලනින් මඟින් පිටතට පෙනෙන කොණ්ඩේ වර්ණය කළු, දුඹුරු හෝ රතු ලෙස පෙන්නුම් කරයි. හිස කෙස්වල වර්ණ තද පාට හෝ වර්ණවත් ද යන්න තීරණය වනුයේ මෙලනින් වර්ණකය නිසා ය.

තද කළු හිසකෙස් ඇති අයගේ මෙලනින් වර්ණකය වැඩිපුර පිහිටා තිබේ. ළා පැහැති හිසකෙස් ඇති අයගේ මෙලනින් වර්ණකය අඩු ය. හිසකෙස්වල වර්ණක සෛල මැරී ගිය පසු ක්‍රමයෙන් සුදුවන්නට පටන් ගනියි.

එසේනම් හිසකෙස්වල වර්ණය වෙනස් වීමට බලපානුයේ ජාන ක්‍රියාකාරීත්වයයි. මවුපියන්ගේ හිසකෙස් වයසට යෑමට පෙර සුදුවී ඇත්නම් ඔබේත් තරුණ අවධියේ දීම සුදුවීමට පටන් ගනියි. මෙය සියලුදෙනාට පොදු නැත. පළමුව සුදු හිසකෙස් ගසක් දුටු දින සිට එය හිස පුරාම ව්‍යාප්තවීමට අවුරුදු 10 කට අධික කාලයක් ගත වේ.

අකලට හිසකෙස් ගැලවී යෑම සහ පැසීම සඳහා දේශීය වෙදකම්

උපදෙස් ආචාර්ය වෛද්‍ය භූෂණ

මහේෂ් අතුරලිය

 

2019/11/06 තරුණි බලන්න