වියපත් වීම කල් දමා ගනිමු ද?

නොවැම්බර් 13, 2019

තාරුණ්‍යයට කවුරුත් පි‍්‍රය කරති. ඒ නිසාම ගිලිහෙන තාරුණ්‍යය රැකගැනීමට සිතා බොහෝ දේ කිරීමට කාන්තාවෝ උනන්දු වෙති. එහෙත් කොතෙකුත් ආලේපන භාවිත කළත් වියපත් බවේ සලකුණු මඟහැරීමට නොහැකි වී ඇති බව ඇතැම් කාන්තාවන් දෙස බැලූ විට හොඳින්ම පැහැදිලි වේ.

මෙය කාන්තාවන්ට පමණක් වූ රුව ගැටලුවක් නොවේ. පිරිමි පාර්ශ්වය පවා වියපත් වීමේ සලකුණු නිසා පීඩාවට පත්වී සිටින බව නොරහසක්. ඒත් කාන්තාවන්ට පිරිමින්ට සාපේක්ෂව වැඩි වශයෙන් මේ තත්ත්වයට ඉක්මනින් මුහුණ දීමට සිදුවන්නේ ආර්ථවහරණයත් සමඟයි. ඔසප් වීම නතර වීමත් සමඟ ශරීරයේ අභ්‍යන්තර හෝර්මෝන ක්‍රියාවලිය අඩාල වීම මෙයට ප්‍රධානම හේතුවයි. එපමණක් නොව මෙය ශාරීරිකව මෙන්ම මානසිකව ද බලපානු ලබයි. මෙහිදී රුවට ඇතිවන තවත් ප්‍රධාන ගැටලුවක් වන්නේ බෙල්ලේ මතුවන රැලි හා සම එල්ලා වැටීමයි.

මෙසේ සිදුවන්නේ වයස්ගත වීම නිසාම පමණක් නොවේ. තරුණ වියේ දීම මේ අයුරින් බෙල්ලේ රැලි ඇතිවිය හැකියි. මෙසේ වීමට කරුණු කිහිපයක් බලපාන අතර විශේෂයෙන් තරබාරුව සිට එක්වරම අධික ලෙස සිරුරේ බර අඩු කිරීම නිසාත් වැරැදි සම්බාහන ක්‍රම නිසාත් බෙල්ලේ මාංසපේශීන් එල්ලා වැටීම සිදු වේ.

එමෙන්ම සම අධික ලෙස වියළිවීම, සමට හොඳ පෝෂණයක් නොලැබීම යන හේතු නිසා ද මෙම ගැටලු ඇති වේ.

එමෙන්ම බොහෝ කාන්තාවන් සිරුරේ කුණු ඉවත් කිරීමට යැයි කියා ඉතා රළු ගල්, ලණු කැබැලි වැනි දේ යොදා ගනිමින් තමාට සිතෙන ආකාරයට තදින් අතුල්ලයි.

මෙසේ සම තදින් ඇතිල්ලීම සමට හානියක් ඇතිවිය හැකි තත්ත්වයකි. නිතර නිතර බෙල්ල අවට සබන්, පිරිසුදුකාරක ද්‍රව්‍ය යොදමින් සේදීම නිසා ද සමේ ස්වාභාවික තෙතමනය ඉවත් වී සම වියළි වීමට හැකියාව ඇත.

හිරු ආවරණ ආලේපනයක් ගල්වන්න

දැඩි සේ හිරු එළියට නිරාවරණය වීම සම ඉක්මනින් වියපත් කිරීමට හේතුවකි. හිරු රශ්මිය වැඩි දිවා කාලයේ දී හිරු කිරණින් සම ආරක්ෂා කර ගැනීමට නම් සුදුසු හිරු ආවරණ ආලේපනයක් (sun screen cream)  ගැල්විය යුතුමයි.

නැත්නම් සම වියපත් වනවා පමණක් නොව පිග්මන්ටේෂන් වැනි තත්ත්වයන් වගේම සම වියළි වී රැලි ස්වභාවයක් ද ඇතිවිය හැකියි.

ප්‍රමිතියෙන් යුතු මේක්-අප් භාවිතය

මුහුණේ සම ඉතා සංවේදීයි. මේ නිසා ඒවාට සුදුසු නිෂ්පාදන වර්ග තෝරා ගැනීමේ දී දෙවරක් සිතන්න. මිල තරමක් අධික වුවත් ප්‍රමිතිගත නිෂ්පාදන තෝරාගැනීමට වග බලා ගන්න. නැත්නම් ඔබේ මෘදු සමට හානිකර තත්ත්ව ඇතිවිය හැකියි.

 

 

2019/11/13 තරුණි බලන්න

 

උපදෙස්

ආයුර්වේද විශේෂඥ වෛද්‍ය

හෙන්රි රණසිංහ