මනා පෞරුෂයක් ඇති මවකගේ දරුවන් රටකට වාසනාවක්

දෙසැම්බර් 4, 2019

සුන්දර, ධෛර්යයවන්ත ගැහැනියක් වන්නට හැකි නම් ඔබත් ජීවිතයේ ලස්සන අත්විඳින කාන්තාවක්. මොනතරම් අවලස්සනයි කිව්වත් ඔබ නොදන්නවාට ඔබ සතුව අපූර්ව සුන්දත්වයක්, වටිනාකමක් සැඟවී තියෙනවා.

ඒ සැඟවුණ වටිනාකම්, සුන්දරත්වය මතුකර පෙන්වන්න, ඒවා මතුකරගන්නා ආකාරය පහදා දෙන්න තරුණී හැම විටම වෙහෙසෙනවා. ඒ වෙනුවෙන් තිළිණ කරන මෙම විශේෂාංගයෙන් අපි පසුගිය සතියේ කතාබහ කළේ ඔබේ සතුට රැකගන්න ඔබ කළ යුතු දේවල් ගැනයි. අද අපි ගිය සතියේ නැවතුණු තැනින් අරඹමු.

පෙම්ලොවේ දී අන්ධව විවාහ වූ කාන්තාවන් සත්‍ය අවබෝධ වුණු විට තනිවම ජීවත්වීමට තීරණය කළ, කරන පිරිසක් ඉන්නවා. සැමියා මියගිහින් දරුවන් සමඟ තනිවූ කාන්තාවන් ඉන්නවා. තමන්ගේ වරදකින් නො වුණත් සැමියා අතහැර ගිය දරුවන් සමඟ තනිවූ කාන්තාවන් ඉන්නවා. ඔවුන්ට සමාජය තුළින් ලැබෙන දේවල් මොනවගේද කියලා ඔබට සිතෙනවාද? සමහරුන් හිටිය තැනටත් වඩා පහළට ඇද දාලා තියෙනවා. සමහර අය සමාජය විසින්ම විනාශ කරලා තියෙනවා. තවත් සමහරෙක් ස්වාධීනව නැඟිටලා තියෙනවා.

අලුතින් දකින්න

විවාහය අතහැරපු කාන්තාවට සමාජයේ යහපත් ප්‍රතිචාර ලැබෙනවා ද? සුදුසු කෙනෙක් නොලැබී විවාහ නොවී සිටින කාන්තාවට යහපත් ප්‍රතිචාර ලැබෙනවා ද? ඒ නිසා සම්මතවලින් පිට සිතන, ක්‍රියාකරන ධෛර්යයවන්ත කාන්තාවන් අප අගය කළයුතුයි. ඔවුන් අලුතින් ජීවිතය පටන් ගන්නකොට අපි ආශීර්වාද කළ යුතුයි. නමුත් අද අපේම කාන්තාවන් තමයි තවත් කාන්තාවකට ගරහන්නේ, අපහාස කරන්නේ. හදවතින්ම, තනිවුණු කාන්තාවට අපි උදවු උපකාර කළ යුතුයි. මුදල්වලින් නොහැකි වුණත් ඇගේ මානසික ශක්තිය ගොඩනැඟිය යුතුයි. සෑම කළු වලාවකම රිදී රේඛාවක් තියෙන බව ඇයට අවබෝධ කර දිය යුතුයි.

ඔබ අතරත් එවන් වූ කාන්තාවන් ඇති. එහෙම නැතිනම් ඔබත් එවැනි තනිවුණු කෙනෙක් වෙන්න පුළුවන්. ඔබ ජීවත් විය යුතුයි. අභියෝග ජයගත යුතුයි. අප්‍රසන්න වූ මඩගොඩක් තුළින් උඩට ආපු නෙළුමක් වගේ පිපී දිළිසිය යුතුයි. අලුතින් සිතන්න. හැමෝම දකිනවාට වඩා වෙනස් දෙයක් දකින්න. තනිවුණු තනි නොවුණු හැම කාන්තාවක්ම, තරුණියක්ම පුළුවන් හැම වෙලාවකම තවත් කාන්තාවකට උදවු උපකාර කරන්න. ඇයව වටහාගන්න උත්සාහ කරන්න. ඇයට සංවේදී වන්න. ශාරීරිකව මෙන්ම මානසිකව සෞඛ්‍යය සම්පන්නව ඉන්න පුළුවන් නම් අපට හොඳ පෞරුෂයක් ගොඩනඟා ගන්න පුළුවන් වෙනවා. යහපත් සිතුවිලි පතුරමින් අප අවට ඉන්න සියලුම දෙනා සමඟ සහයෝගයෙන් කටයුතු කරන්න ඔබ පුරුදු වන්න. ඔබ වෙනුවෙන් වෙලාවක් වෙන්කර ගන්න. මනස සන්සුන් කරගෙන දවසේ කළ යුතු දේවල් ගැන වගේම කරපු දේවල් ගැනත් සිතන්න. මඟහැරුණු දේවල් අමතක කරන්න. අලුත් යමක් ගැන සිතන්න. අඩුපාඩු, වැරැදි අපි හැමෝම අතින් සිදුවෙනවා නමුත් සමාව දීමට පුරුදු වන්න. සිනහවකින් නිතරම මුව සරසා ගන්න. ඉතා සුහදශීලී, ප්‍රාර්ථනා ඇති කරගන්න. ලස්සනට අඳින්න, පලඳින්න සුහදශීලී හැසිරීමත් ඔබව ඉහළට ඔසවා තබන අංගයක්. එලෙස ආචාරශීලීව හැසිරීමට තමයි අප ශාරීරිකව මානසිකව සෞඛ්‍යය සම්පන්නව ගොඩනැඟුණේ. මේ දේවල් ඔබේ ජීවිතයට එකතු කරගන්න. තවත් තරුණීයන්ගේ ජීවිතවලට ඔබ ආශීර්වාදයක් වන්න.

හැමවිටම හොඳ වන්න

අපි හැමෝම දන්නවා කළ යුතු දේ මොකක්ද කියලා. හොඳ දේවල් මොනවද කියලා. මේ දේ කළොත් වැරැදියි. මේ දේ කළොත් හොඳයි කියලා අපි හැමෝම දන්නවා. අපේ සීමාවන් පවා අපි දන්නවා. හැබැයි මේ හැමදේම දන්න අපිම ජීවිතය වරද්දා ගන්නවා නේද? අන්තිමට අපි කරලා තියෙන්නේ නො කළ යුතුම දේ නොවේද? ඉවසීම නැති තැන අපි විනාශය ළඟාකරගනෙ නේද තියෙන්නේ. හැමෝම ඉදිරියේදී නම්බුව ගැන, තරාතිරම ගැන හිතලා ඔබ හොඳ පුද්ගලයෙක් වෙනවා නේද? නමුත් හැමෝටම හොරෙන් ඔබ වැරැදි කරලා නැතිද? උදාහරණ විදිහට සිතුවොත් පිරිසක් ඉදිරියේ ඔබේ දරුවා, සැමියා අතින් ඔබට අපහසුතාවක් ගෙන දෙන දෙයක් සිදුවූවොත්, කියවුණොත් ඔබ එය සිනාවෙන්, විහිළුවෙන් මඟහැර සැහැල්ලුවට ගන්නවා. නමුත් නිවෙසට ගිය විගස යකා ආවේශයෙන් හැසිරෙනවා. ඒක තමයි ඇත්ත. ඔබේ අඩුපාඩුවක්, වැරැද්දක් කතා කරනවට අකැමැතියි, ඔබ කැමැති ඔබ හොඳ කෙනෙක් බවට හැමෝම පිළිගන්නවා නම්. හැබැයි ඔබ දන්නවා ඔබ කවුද කියලා. පිටතට ඔබ හොඳයි. ගෙදරට ඔබ නරකයි. හැම වෙලාවෙම, සෑම තැනකදිම ඔබට හොඳවෙන්න පුළුවන් කියලා ඔබ හිතලා තියෙනවද?

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ

පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2019/12/04 තරුණි බලන්න