ෆේස් වොෂ් නිවැරැදිව භාවිත කරන්න දන්නවා ද?

දෙසැම්බර් 4, 2019

සුන්දර රුවක් හිමිකරගන්නට සිහින මවන යුවතියන් බොහොමයි. ඔවුන් ඇදෙන්නේ වෙළෙඳපොළේ විවිධ නම්වලින් ඇති රුව ලස්සන කරනවා යැයි කියන නිෂ්පාදන වෙතයි.

ෆේස් වොෂ්, පැක්, මොයිස්චරයිසර්, ස්ක්‍රබ්, ෆෙයානස් ක්‍රීම්, සන්ස්ක්‍රීන් ක්‍රීම්, ලිප්ස්ටික්, ලිප් බාම්, පවුඩර්, අයි ලයිනර්, මස්කාරා, අයි ෂැඩෝ ආදී මේ බොහොමයක් දේ අපේ යුවතියන් මිලදී ගන්නේ තමන් සිහින දකින රුව ලස්සන කරගැනීමටයි. ඒත් වෙළෙඳ ලෝකය දිනෙන් දින අලුත් වෙනවා. වෙනස් වෙනවා. මේ හින්දා ලස්සන කරනවා යැයි කියන විවිධාකාර ද්‍රව්‍යය ද දිනෙන් දින වෙනස්වෙමින් වෙළෙඳපොළට පැමිණෙනවා. ඒ විතරක් නෙමේ බොහෝවිට භාවිතයට නුසුදුසු ප්‍රමිතියෙන් අඩු සමට අහිතකර, කල්ඉකුත් වූ නිෂ්පාදනත් මේ අතර තියෙනවා. ඒ හින්දා බොහොමයක් තරුණියන් මේ විවිධ ද්‍රව්‍ය අතර අතරමං වෙනවා. තමන් මිලදී ගත යුත්තේ මොනවාද? මේ ද්‍රව්‍ය නිවැරැදිව භාවිත කරන්නේ කොහොමද? මේ මිලදී ගන්නේ තමන්ට ඇත්තටම අවශ්‍ය ද්‍රව්‍ය ද? මේවායේ නිසි ප්‍රමිතියක් තියෙනවා ද? මේවායේ අඩංගු දේවල් තමන්ට හිතකරද? කියලා මේ කිසිම කෙනෙක් දන්නේ නැහැ. කවුරුහරි කියන නිසා, වෙන කෙනෙක් භාවිත කරන නිසා තමනුත් ඔහේ භාවිත කරනවා. ඒ විතරක් නෙමේ, සමහරු මේ දේවල් හරියාකාරව භාවිත කරන්න දන්නෙත් නැහැ. හොඳ නිෂ්පාදනයක් නම්, ස්වාභාවික ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරලා තියෙන දෙයක් නම් ඔබේ සමට ගැළපෙනවා නම්, ඒ දේවල් භාවිත කිරීම සුදුසුයි. හැබැයි ඉතිං හොඳ ප්‍රතිඵල ලබාගන්න නම් ඒවා නිවැරැදි පිළිවෙළට භාවිත කරන්නත් දැනගෙන ඉන්න ඕනේ. එහෙම නිවැරැදිව භාවිත කළොත් විතරයි ඔබට එමඟින් අපේක්ෂා කළ ප්‍රතිඵලය ලැබෙන්නේ.

රුව ලස්සන කරන ද්‍රව්‍ය පිළිබඳ මතක් කිරීමේ දී අපේ මතකයට මුලින්ම නැඟෙන්නේ අපේම රටේ නිෂ්පාදන පෙළක් වූ ජැනට් රූපලාවණ්‍ය නිෂ්පාදන වෙතයි. ජැනට් බාලසූරිය කියන නම නම් රූපලාවණ්‍ය ලෝකයේ කාටවත් ම අමතක නොවන නාමයක්. ඇය ප්‍රවීණතම රූපලාවණ්‍ය උපදේශිකාවක් පමණක් නෙවෙයි, රූපලාවණ්‍ය දැනුම ලාංකේය කාන්තාවට පුවත්පත් හරහා නිර්ලෝභීව බෙදාදුන් කාන්තාවක්. ඇය මේ ක්ෂේත්‍රයේ තමන්ගේ නාමය නොමැකෙන සේ රඳවා තියෙන්නේ ජැනට් ආයුර්වේද නිෂ්පාදන පෙළ හරහායි. ස්වාභාවික ද්‍රව්‍යය භාවිත කරලා අපේම රටේ නිෂ්පාදන පෙළක් ලෙසින් එළිදැකි මේ සමූහයේ අධ්‍යක්ෂවරියක ලෙසින් කටයුතු කරන ඇගේ දියණිය ෂෙරින් ප්‍රනාන්දුත් ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක්. වසර හතළිහක පමණ කාලයක සිට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නියැළෙන ඇය රුව පිළිබඳ කතා කරන්නට සුදුසුම චරිතයක්. ඒ විතරක් නෙමේ ඇය රූපලාවණ්‍ය ද්‍රව්‍ය පෙළක් නිෂ්පාදනය කරන ආයතනයක අධ්‍යක්ෂවරියක්. එහෙමනම් ඇයට රූපලාවණ්‍ය නිෂ්පාදන පිළිබඳ කතා කරන්නත් බොහොම හොඳ දැනුමක් වගේම වටපිටාවක් ද තියෙනවා. ඒ හින්දම අපේ දූවරු, තරුණියන් වගේම මැදිවයස් කාන්තාවන් ආදී සියලුම ළඳුන් තමන්ගේ රූව ලස්සන කරගන්න කියලා හිතාගෙන මිලදී ගත යුත්තේ මොනවගේ ද්‍රව්‍ය ද? ඒවා නිවැරැදිව භාවිත කරන්නේ කොහොමද? කියන කාරණා පිළිබඳ අද සිට ඔබටත් දැනුවත් වන්න අවස්ථාව හිමිවෙනවා.

 

ඉතින් අපි හා හා පුරා ඔබට තිළිණ කරන්නේ අපි හැමෝම නිතර භාවිත කරන දෙයක් ගැනයි. ඒ තමයි ෆේස් වොෂ්. ෆේස් වොෂ් කියන්නේ මුහුණ, ගෙළ ප්‍රදේශයේ සම පිරිසුදු කරන්න භාවිත කරන පිරිසුදුකාරකයක්. අද වෙළෙඳපොළේ විවිධාකාර නම්වලින් ෆේස් වොෂ් තියෙනවා. මේ දේවල් කෘත්‍රිම ද්‍රව්‍ය භාවිතයෙන් වගේම ස්වාභාවික ද්‍රව්‍ය භාවිතයෙන් ද නිෂ්පාදනයකර ඇති නිසා අපි හැමවිටම තෝරාගත යුත්තේ ස්වාභාවික ද්‍රව්‍යවලින් නිෂ්පාදනය කරලා තියෙන නිෂ්පාදනයක්. හැබැයි ඊටත් ඉස්සෙල්ලා ඔබට තියෙන්නේ කුමනාකාර සමක් දැයි හඳුනාගත යුතුයි. ඒ මොකද කියනවා නම් අපි ෆේස් වොෂ් එකක් මිලදීගත යුත්තේ අපේ සමට ගැළපෙන ලෙසයි. සම තෙල් සහිත එකක් ද? වියළි එකක් ද? සාමාන්‍ය සමක් ද? සංවේදී සමක් ද කියලා පළමුව හඳුනාගත යුතුයි. ඒ අනුව සමට ගැළපෙන ලෙස නිෂ්පාදනය කළ ෆේස් වොෂ් එකක් මිලදී ගන්න. සමහර විට ඕනෑම සමකට ගැළපෙන ලෙස නිෂ්පාදනය කළ ෆේස් වොෂ් වර්ගත් තියෙනවා.

ප්‍රවීණ රූපලාවණ්‍ය උපදේශිකා ෂෙරින් ප්‍රනාන්දු ගෙන්

ඔබ ලස්සන කරන්නට අගනා උපදෙස්

 

 

2019/12/04 තරුණි බලන්න