සමාව දීමත් සමාව ගැනීමත් ජීවිතයට වටිනාකම් ගෙනඑයි

දෙසැම්බර් 18, 2019

ඔබ ජීවිතය දිනූ සුපසන් ළඳක් කරන්නට අප ගෙන එන ලිපි මාලාවේ තවත් එක් දිගහැරුමකි මේ. ඍණාත්මක සිතුවිලි ඉවත දා ඔබත් අලුත් දිවියක් අරඹන්න. අලුතින් සිතන්න.

කාන්තාවක් ලෙස මනා පෞරුෂයක් ගොඩනඟා ගැනීමේ දී මානසිකව, ශාරීරිකව ඇතිවිය හැකි ගැටලු ගැන අපි කතා කළෙමු. මෙම ගැටලු අපිට අප තුළින්ම පැන නැඟෙන අවස්ථා තිබෙනවා. ඒවගේම අපිට කිට්ටුම පවුලේ සාමාජිකයන් නිසා අපට මුහුණ දෙන්නට සිදුවන ගැටලුවලිනුත් අපේ පෞරුෂය බිඳී යනවා. සමාජය තුළ දී ද අප මානසිකව, ශාරීරිකව වුවද කඩාවැටීම්වලට ගොදුරු වෙනවා. අනවශ්‍ය ගැටුම් ඇතිවනවා. මේ දේවල්වලට මුහුණ දෙන්නේ කොහොමද? අන්තර් පුද්ගල සම්බන්ධතාවන් ගොඩනඟා ගන්නේ කොහොමද කියන කරුණු පිළිබඳ මේ වනවිට ඔබ දැනුවත්. මේ හැමදේම ඔබේ මනස අවදි කරන්නත් ඒ ඔස්සේ සිතිවිලි වෙනස් කරගන්නත් මනා පිටිවහලක් වනු ඇත. එසේ ඔබේ සිතිවිලි වෙනස් කරගෙන අලුතින් සිතා, කටයුතු කරන්නට ඇරැඹීමෙන් නිසැකවම ඔබත් මනා පෞරුෂයක් සහිත සාර්ථක කාන්තාවක් බවට පත් වේවි. ඒ වගේම ඔබ වෙනදාට වඩා ලස්සන බව ඔබට ම පැහැදැලි වේවි. අපි ඒ මඟ ඔස්සේ තවත් ඉදිරියට කතාකරමු.

ඕපදූප ඈත්කරන්න

මිනිස්සු විවිධාකාරයි. සමහරු හරිම ගුප්තයි. භයානකයි, ඒවගේම ඉතා හොඳ කරුණාවන්ත මිනිස්සුත් ඉන්නවා. මේ විවිධාකාර මිනිසුන් අතර සමාජයට, පවුලට වගේම තමන්ටත් හොඳ වැඩදායක කාන්තාවක් වීමටයි අපිට අවශ්‍ය. කොහොමද අපි එහෙම කෙනෙක් වෙන්නේ. කාන්තාව නිතරම ඕපදූප කියවන, ඒවා බෙදාහරින චරිත ලෙස හඳුන්වනවා. ඔබ එසේ නැතත් ඔබ ළඟට ඇවිත් ඒ දේවල් පවසන්න පුළුවන්, කේලාම් කියාගෙන එන්න පුළුවන්. ඒවා අහන්න ඔබ පුරුදු වුණොත්, ඔබට ඇසුරු කරන්න ලැබෙන්නේ කේලාම් කියන, ඕපදූප පතුරුවන පිරිසක්. ඔවුන් ගිහින් අනික් අයටත් ඔබ ගැන ද එවැනි දේ පවසනවා විය හැකියි. එම නිසා එවැනි දේවල් තුළින් ඔබේ පැවැත්මටත්, පෞරුෂයටත් ඔබ මහත් හානියක් කරගනු ලබනවා. එවැනි පුද්ගලයන්ගෙන් පුළුවන් තරම් ඈත් වී සිටින්න.

කේන්තිය ඈත්කරන්න

නිතරම කේන්ති අරගෙන කෑගහන කාන්තාවන් ඔබ දැකලා ඇති. හරිම අප්‍රසන්නයි. ඉවසීමක් ඇත්තෙම නැහැ. නිවෙස ද, මඟතොට ද, පොදු ස්ථාන, පොදු වාහන, කාර්යාල මේ හැම තැනකදීම එවැනි කාන්තාවන් ඉන්නවා. ‘හොස්ස ළඟින් මැස්ස යන්න බැහැ’කියලා අපි කියන්නේ ඒ වගේ අයට. එවැනි අය ළඟ රැඳීම තුළින් අපි ද ලැජ්ජාවට භාජනය වෙනවා. ඔවුන් පිටකරන වචනවල ද ඇත්තේ අප්‍රසන්න බවක්. එවැනි අයව ඇසුරු කිරීමේ දී ඔබ ඔවුන් පිළිබඳ මනා අවබෝධයක් ලබාගන්න. පිරිසක් ඉදිරියේ දී ඔවුන් සමඟ වැඩකිරීමට සිදුවුවහොත් ඔවුන් ගැන අවධානයක් තබාගන්න.

විවේචන

සමහරු ඉන්නේ විවේචනය කරන්නම පමණයි. කිසිදු දෙයක ඔවුන් හොඳක් දකින්නෙම නැහැ. මොනතරම් සාර්ථකව, ලස්සනට නිමකරලා තියෙන දෙයක වුණත් කුමක් හෝ අඩුපාඩුවක් දකින කාන්තාවන් ඉන්නවා. ඔවුන් සිටින්නේ ‘සියල්ල දත්’ විදිහට. නමුත් දන්න දෙයක් නැහැ. විවේචන හැරුණම. කාර්යාලවලදී මේ තත්ත්වය බහුලව තිබෙනවා. කෙනෙක් තමන්ට වඩා ලස්සනට ඉන්නවා නම් එවිට අනෙකාගේ කුමක් හෝ අඩුපාඩුවක් ගැන කතා කරනවා. ඒවා පවසන්නෙත් ඉතා සූක්ෂමව තමන්ට නරක නාමයක් නොගෑවෙන ආකාරයටයි. "ඔයාගේ සාරිය අද හරිම ලස්සනයි. මොකක්ද අනේ ඔය සපත්තු දෙකේ හැටි" ඔය වගේ වචන ඔවුන් භාවිත කරනවා. තවත් කෙනකුටත් ගිහින් පවසනවා. "සාරිය නම් ලස්සනයි. ඒත් සපත්තු දැක්කම හිතෙන්නෙ එළහරකයි, මී හරකයි වගේ" මේ දේවල්වලින් ඔබ ඈත්ව සිටීම වැදගත්. හැම මනුෂ්‍යයකුටම පෞරුෂයක් තියෙනවා. අපිට කිසිදු අයිතියක් නැහැ අනෙකාව පිරිසක් ඉදිරියේ හෙළා දැකලා කතා කරන්න. එය සදාචාරාත්මක නැහැ. ඉන් පිරිහීමට ලක්වෙන්නේ ඔබමයි. කෙනකුගේ වැරැද්දක්, අඩුපාඩුවක් දුටුවම එය පැවසිය යුතු හෝ පෙන්වා දිය යුතු ආකාරයක් තිබෙනවා. එසේ නොමැතිව තැන නොතැන නොබලා කට ඇරීම තුළින් සමාජයේ අපවාදයට ලක්විය හැකියි. අපි කවුරුත් සර්ව සම්පූර්ණ නැහැ. ඕනෑම කෙනකුගෙන් අඩුපාඩු විය හැකියි. එවන් වූ පුද්ගලයන්ට ශක්තියක් වෙන්න. එවිට ඔබ සියලුම දෙනා විසින් පිළිගනු ලබන වැදගත් චරිතයක් වෙනවා.

සමාව හා විශ්වාසය

පුළුවන් හැමවිටම සමාව දෙන්න. ඒ වගේම තමන් අතින් වරදක් සිදුවුණොත් තරාතිරම නොබලා ඔබ ද සමාව ගන්න. පස්සෙ පන්න පන්නා පළිගැනීම පෞරුෂයක් තියන කාන්තාවක් නොකළ යුතු දෙයක්. තමන්ට විශාල හානියක් කරපු කෙනකුට වුවද සමාව දී අතේ දුරින් තබා ඇසුරු කරන්න. ඔබ සංවේදී වීමට අවශ්‍ය තැන්වලදී සංවේදීව කටයුතු කිරීම ඉතා වැදගත්.

කාන්තාවන්ට රහස් රැකීම අපහසු වීම පුරාතනයේ සිටම පැවැත එනවා. එය අභියෝගයක් ලෙස ඔබට අවශ්‍ය නම් බාරගන්න. රහස් රැකීමට පුළුවන් කාන්තාවක් වන්න. හැබැයි අවස්ථාව අනුව කෙනෙක් ඔබට රහසක් පවසන්නේ ඔබව ගොඩක් විශ්වාස කරලා. එවැනි දේවල් තැන තැන පතුරුවා හැරීම අශෝභනයි. විශ්වාසය පළුදු වීම තුළින් ඔබවම විනාශ විය හැකියි.

ඒ නිසාම ඔබ කාන්තාවක් හැටියට යමක් රහසක් ලෙස පැවැතීමට අවශ්‍ය නම් තව කෙනකුට සිය දහස්වරක් සිතා බලා පවසන්න. එලෙසම ඔබට දරාසිටීම අපහසු නම් පැවසීමට පෙර ඔබ ඔබගේ දුර්වලතාව පවසා සිටින්න. මට රහස් රැකීමට බැහැ කියා කෙළින්ම පවසන්න. ඉන් දෙපාර්ශ්වයටම පහසුවක්. රැකියාව කරන තැන විශේෂයෙන්ම පරෙස්සමින් වැඩකළ යුතු ස්ථානයක්. රාජකාරියට අමතරව අපිට අන් පුද්ගලයන් සමඟ ද කටයුතු කිරීමට සිදුවෙනවා. ඔවුන් ගැන අවබෝධයක් නැති වූ විට රැකියාව ද තිත්ත වුණු කාන්තාවන් අපට හමුවෙනවා.

පෞද්ගලික ගැටලු

ඔබේ පෞද්ගලික ජීවිතය කාර්යාලයේ සියලු දෙනා සමඟ බෙදා ගන්න ඕනෙද? එහෙම වුණොත්.... එහෙම වෙලා සිදුවුණු අපහසුතා කරදර ඔබට මතක් වුණා නේද? මට මුණගැසුණු කාන්තාවන් අතරින් විවාහක කාන්තාවන්. පිරිමින් බොහෝ දෙනෙක් තමන්ගේ පෞද්ගලික ජීවිතය කාර්යාලයට ගෙන ගිහින් කරදර ගොඩක පැටළුණු අයයි. තමන්ගේ වයිෆ්ගේ වැරැදි එහෙම නැත්නම් සැමියාගේ වැරැදි , අහල පහළ මිනිසුන්ගේ අඩුපාඩු, දරුවන්ගේ, අම්මලගේ, නැන්දම්මලගේ, සහෝදරයන්ගේ මෙවැනි අතිශය පෞද්ගලික දේවල් කාර්යාලයේ මිතුරන් සමඟ පවසා ඔබත් අමාරුවේ වැටිලා ඇති. මෙවැනි දේවල් පැවසීම පුළුවන් තරම් සීමා කරගන්න. ඔබගේ ප්‍රශ්න කාර්යාලයට ගෙන යෑම තුළින් ඔබගේ වෘත්තීය ජීවිතේ ඉදිරියට යෑමට තිබෙන අවස්ථාවන් ගැන සාකච්ඡා කිරීම හෝ් ඔවුන්ගෙන් උපදෙස් ලබාගැනීමට යෑම තුළින් ඔවුන් ඔබව පහත් කොට සැලකීමට කටයුතු කරනවා. ඔබ මොනතරම් එතැනදී සාධාරණ වුවත් ඔවුන් ඔබව හෙළා දකිනවා.

ඔබ හස්බන්ඩ්ගේ අඩුපාඩු ගැන කතා කරන්නේ නම් බොහෝ දෙනෙක් ඔබෙන් අයුතු ප්‍රයෝජන ගැනීමට බලන අතර තවත් අය ඒ බව ඔබගේ සැමියාට පෙරළා පැවසීමට ද ඉඩ ඇත. එයින් ඔබ නොසිතූ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවීම වැළක්විය නොහැකියි.

ඒ වගේම තමයි ඔබත් අන් අයගේ පෞද්ගලික දේවල් පුළුවන් තරම් නොසොයා සිටීම. උදවු උපකාරයක් අවශ්‍ය තැනදී සහයෝගය දීම හැර කිසිදු විටක ඔවුන්ගේ පෞද්ගලික ජීවිතය ගැන කතාබහ අනවශ්‍ය බව සිතට ගන්න. ඉතා අවංක, වැදගත්, සංයමයකින් හෙබි මනා පෞරුෂයක් තිබෙන කාන්තාවක් ලෙස කැපී පෙනීමට මේ දේවල් ජීවිතයට ළංකර ගන්න.

ඕනෑම පොදු ස්ථානයකදී ද කාර්යාලයේ දී ද ඔබ නිවෙසේ දීද කතාබහ කිරීමේ දී, හැසිරීමේ දී ඉතා හොඳින් සිතා බලා වචන භාවිතය සහ ක්‍රියාත්මක වීම වැදගත් වීම මතකයේ තබාගන්න.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2019/12/15 තරුණි බලන්න