මුහුණ සුන්දර කරන ටෝනර්

දෙසැම්බර් 25, 2019

 

සෑම කාන්තාවක්ම කැමැතියි තවත් කෙනෙක් තමන්ව වර්ණනා කරනවා නම්. එහෙම වර්ණනා කරන තත්ත්වයට ලස්සන වෙන්න තමයි හැම කෙනෙක්ම උත්සාහ දරන්නේ.

කෙනකු දෙස බැලූ බැල්මට අපට පළමුව දිස්වන්නේ එම පුද්ගලයාගේ මුහුණයි. යම් පුද්ගලයකුගේ අභිමානය කෙරෙහි මුහුණෙන් ද විශාල බලපෑමක් එල්ල කෙරෙන අතර හදවත දකින කැඩපත මුහුණ ලෙසින් ද හැඳින්වේ.

බොහෝ දෙනා සිතන්නේ මුහුණ ලස්සන වීම රඳා පවතින්නේ ඔබේ මේක් - අප් පෙට්ටියේ තියෙන දේවල්වල ප්‍රමාණය අනුව කියලා. අවාසනාවට ඒ මතය වැරැදියි.

ලස්සන කියන්නේ ඔබේ ඇතුළත සහ පිටත දෙකේම ඇති නිරෝගීකම පෙන්වන හොඳම සාක්ෂියක්. ලස්සන කාන්තාවක් වීම එතරම් අපහසු දෙයක් නොවෙයි.

මුහුණ ලස්සන කරගන්න නම් ඔබ පළමුව සිතිය යුත්තේ මුහුණේ පිරිසුදුභාවය පිළිබඳවයි.

යම් යම් අවස්ථාවලදී මුහුණේ තැන් තැන්වල නොයෙකුත් ආකාරයේ ලප ඇති වේ. අව්වට පිළිස්සීම, හෝර්මෝන ක්‍රියාකාරීත්වයේ වෙනස්වීම, දරුණු රෝග සඳහා ලබාගන්නා ඖෂධ, රසායනික ද්‍රව්‍ය භාවිත කිරීම වැනි හේතු නිසා දිලීර වර්ග සම මතුපිට ඇතිවීමෙන් මුහුණේ විවිධ ලප ඇති විය හැකියි.

නියම ආකාරයට මුහුණ පිරිසුදු නොකළ විට සමෙන් උඩට මතුවන තෙල්වල දුහුවිල්ල එකතු වී එම කොටස් ඝනවී රෝම කූපවල සිරවීම නිසා ඇතිවන කළු පැහැයෙන් යුතු කුඩා තිත් කළු ලප ලෙස හඳුන්වයි. රෝම කූප මඟින් එළියට මතු වූ තෙල් රෝම කූප අතර ඝන වූ විට ඒවා සුදු ලප ලෙස හඳුන්වයි. නියමාකාරයෙන් මුහුණ පිරිසුදු නොකිරීම නිසා කළු හා සුදු ලප යන දෙවර්ගයම ඇති වේ.

මුහුණ පිරිසුදු කළ පමණින් ද මේ ගැටලුවලින් මිදිය නොහැක.

නිවැරැදි පිරිසුදු කිරීම්වලින් පසුව පසු සත්කාර ද කිරීම වැදගත්.

බොහෝ දෙනා ස්ක්‍රබ්, ක්ලෙන්සර් වලින් සත්කාර කළ ද ටෝනර් කිරීම අතපසු කරති. මෙයින් සිදුවන්නේ කුණු දූවිලි වඩ වඩාත් සම තුළට ගමන් කිරීමයි.

 

ටෝනර්

ටෝනර් එකක් කියන්නේ මෘදු, දියරමය පිරිසුදුකාරකයක්. ටෝනර් කිරීම කළ යුත්තේ මුහුණ ක්ලෙන්සර් එකකින් පිරිසුදු කරගත් පසුවයි.

ක්ලෙන්සර් කිරීමෙන් සමේ රෝම කූප විවෘත වේ. එලෙස විවෘත වූ රෝම කූප වැසීම සිදුවන්නේ ටෝනර් ගැල්වීමෙනි.

ඔබ ටෝනර් නොකර නිවෙසින් පිටතට ගියහොත් කුණු දුහුවිලි ඔබගේ සමට ඉක්මනින් ඇතුළු වෙනවා. ඒ නිසයි ටෝනර් කිරීම එතරම් වැදගත් වන්නේ.

ටෝනර් කිරීමෙන් සම ශක්තිමත් කරයි. සම දීප්තිමත් කර සමට පෝෂණයක් ලබා දෙයි. සමට කරන සත්කාරවල පෝෂණ ගුණ සම තුළට උරා ගැනීම වේගවත් වීමට ටෝනර් හේතුවක් වනවා.

ටෝනර් කිරීමෙන් සමේ සිදුරු තුළ ඇති අපද්‍රව්‍ය ඉවත්කර සමේ සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.

 

ටෝනර් කිරීමකදී සැලකිය යුතු කරුණු

 

ටෝනර් එකක් තෝරාගත යුත්තේ තමන්ගේ සමේ ස්වභාවය අනුවයි. තෙල් සහිත සමක් සඳහා නිපදවූ ටෝනර්වල පවතින ඇල්කොහොල් ප්‍රතිශතය වැඩියි. වියළි සමක් සහිත අයකු, තෙල් සහිත සමක් සඳහා නිපදවූ ටෝනර් භාවිත කිරීමෙන් ඔහුගේ හෝ ඇයගේ සම තවත් වියළෙන්නට ඉඩ තියෙනවා.

සම ටෝනර් කිරීම කළ යුත්තේ පුළුන් හෝ ටිෂූ ආධාරයෙනි.

අතින් ටෝනර් කිරීම සුදුසු නැහැ.

 

2019/12/25 තරුණි බලන්න‍..........