කුංකුම භාවිත කරන්නේ කොහොම ද?

ජනවාරි 8, 2020

ප්‍රශ්නය

මා 32 හැවිරිදි විවාහක කාන්තාවක්. ආයතනයක පිළිගැනීමේ නිලධාරිනියක ලෙස කටයුතු කරන නිසා රුව ගැන වඩාත් සැලකිලිමත්. කුංකුම භාවිත කිරීමෙන් සම පැහැපත් කර ගත හැකි බව මා අසා ඇත. නමුත් කුංකුම යොදාගෙන සත්කාරයන් කරන ආකාරය පිළිබඳ මට දැනුමක් නොමැත. සමට සත්කාර කරගැනීම සඳහා කුංකුම භාවිත කරන නිවැරැදි ක්‍රමය කුමක් ද?

 

බත්තරමුල්ල - අංජලී

 

පිළිතුර

කුංකුම එහෙමත් නැත්නම් සැෆ්රන් කියන්නේ ලොව මිල ඉහළම කුළුබඩු වර්ගයක්. ඒ නිසා නිවැරැදිව භාවිත නොකළහොත් විශාල පාඩුවක් සිදුවේවි.

සාමාන්‍යයෙන් සැෆ්රන් පානයක් විදිහටත්, ආලේපනයක් විදිහටත් ඔබට භාවිත කළ හැකියි. පානයක් විදිහට භාවිත කිරීමේ දී උණුසුම් කිරි කෝප්පයකට සැෆ්රන් රේණු 4-5 ක් එකතු කරගන්න. මාසයක් පමණ කාලයක් යනවිට ඔබේ සමෙහි වෙනසක් දැක ගතහැකියි. උණු වතුර එක්ක වුණත් මේ විදිහට සැෆ්රන් පානය කරන්න පුළුවන්.

සැෆ්රන් ෆේස් පැක් එකක් විදිහටත් යොදාගන්න පුළුවන්. සමට ප්‍රෝටීන් එකතු කිරීමට වගේම සමෙහි මළානිකබව අඩු කිරීමට යෝගට් උපකාරී වෙනවා. යෝගට් කෝප්ප එකකට කුංකුම රේණු කිහිපයක් එකතුකර මුහුණේ ආලේප කළොත් වඩා ප්‍රතිඵලදායකයි. එමඟින් සමට දීප්තිමත් පෙනුමක් ද ලබාදෙනවා.

බොහෝ දෙනෙක් මුහුණ පැහැපත් කරගන්න කෝමාරිකා ජෙල් භාවිත කරනවා. විශේෂයෙන්ම කෝමාරිකාවල ගුණය නිසා ඔබගේ සමේ වියළි බවට වගේම කුරුලෑ ලප කැළැල් නැති කරගෙන සමේ තෙතමනය ආරක්ෂා කරගන්නවා. ඔබ කෝමාරිකා ජෙල් භාවිත කරන කෙනෙක් නම් මේ ජෙල් එකට කුංකුම රේණු කිහිපයක් එකතු කරගන්න.

ඕනෑම කෙනෙක් දිනපතා කුමක් හෝ ක්‍රීම් වර්ගයක් භාවිත කරනවා. මේ විදිහට ඔබ භාවිත කරන ක්‍රීම් එකකට කුංකුම රේණු 4-5 ක් එකතු කරලා භාවිත කළ හැකියි. ඔබ භාවිත කරන ච්චර හෝ ව්ඪඨඩබ ක්‍රීම් එකකට මේ විදිහට කුංකුම එකතු කරගෙන භාවිත කරන්න පුළුවන්.

ඔබ සකසන ආහාරවලින් කුංකුම එකතු කළොත් ආහර රසවත් වෙන අතරම සෞඛ්‍යය තත්ත්වයත් යහපත් වෙනවා. ඒ අතරම සමත් පැහැපත් වෙනවා.

වැදගත්ම දේ වෙන්නේ ඔබ කුංකුම භාවිත කරනකොට ඔබගේ සිරුරේ උෂ්ණත්වය ගැන සැලකිලිමත් වීමයි. සිරුරේ උණුසුම් ගතිය වැඩි නම් හොඳම දේ වෙන්නේ ඔබ ආලේපනයක් විදිහට කුංකුම භාවිත කිරීමයි. කුංකුම උෂ්ණාධිකබවින් යුතු නිසා පානය කිරීම ශරීරයට අහිතකර විය හැකියි.

 

ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනී

නීශා මනහාරි