බර අඩුකර ගන්නත් සැලැස්මක් අවශ්‍යයි

ජනවාරි 15, 2020

බොහෝ අය ලස්සන ජීවිතයක් සොයා වෙහෙසෙති. නමුත් ඒ ලස්සන ජීවිතය රැඳී ඇත්තේ ද තමන් අතම බව දන්නේ අතළොස්සකි. ඒ නිසාම ඔබේ මනස ඔබ වෙනුවෙන් අවදි කරන්නට අපි “අලුතින් සිතන්න” විශේෂාංගය ගෙන එන්නෙමු. ඔබ වෙනස් වෙන්න.

අලුතින් සිතන්න. ඒ සිතුවිලි ඔබට යහපත් ලෙසින් ක්‍රියාවට නංවන්න. නිසැකවම ඔබේ හෙට දවස පැහැබර වනු ඇත.

සාර්ථක වුණ පුද්ගලයන් නිරන්තරයෙන්ම පවසන දෙයක් තමයි සාර්ථකත්වයේ රහස ඉලක්ක පිහිටුවා ගැනීම බව. එම නිසාම ඔබ මා සමඟ එකඟ විය යුතු කරුණනම් ඉලක්කයක් තබා ගැනීම අපේ ජීවිතයට වැදගත් බව. අපිට අවශ්‍ය කුමක් ද කියලා අපි තීරණය කළයුතුයි. ඒ සඳහා අපි සැලැස්මක් සාදාගෙන එය හඹා යා යුතුයි.

හොඳින් පිහිටුවන ලද ඉලක්කයක් නිකන්ම යමක් අපේක්ෂා කරනවාට වඩා ප්‍රබලයි. නිකන්ම “මම කවදහරි දියුණු වෙනවා, ගෙයක් හදනවා, මේ වගේ කියමන් අපිට නිතරම ඇහෙනවා. හැබැයි මෙහෙම හිතන අය නිකන්ම සිහින දකිනවා විතරයි. ඉලක්ක කියලා මේවා හඳුන්වන්න බැහැ. එසේ පවසන්නේ මේ දේවල් සිදුවීමට ඉඩක් තියෙනවා කියා සිතන්න බැහැ. ‘කොහොම හරි’ කියන විට එහි ක්‍රමයක් නැහැ. සැලැස්මක් නැහැ. ‘කවදහරි’ කියන කොට ප්‍රමාණයක් වෙලාවක් නැහැ. නියමිත කාල පරාසයක් තුළ සිදුවෙනවා කියලා කියන්න බැහැ. ඒ නිසාම මේ දේවල් සැබෑ කරගන්න බැරිවෙනවා.

නමුත් ඔබ යම්කිසි ඉලක්කයකට කැප වුණොත් ඔබට අපූරු ශක්තිමත් ලැබෙනවා. දිවා රෑ ඔබගේ මනස ඒ වෙනුවෙන් වැඩකරනවා.

ඔබට අවශ්‍ය දේ පැහැදිලිව හඳුනාගත යුතුයි. හඳුනාගත් දෙය සැබෑකරගන්නා නියමිත දිනයක් පැහැදිලි සැලැස්මක් සෑදිය යුතුය. මේ සැලැස්ම සකස් කරන කොට ඔබට වැටහෙනවා මේ ඉලක්කය යථාර්ථවාදී ද? එය සැබෑ කරගන්න පුළුවන්ද කියන දෙය. ඒ අනුව ඔබට ඔබේ ඉලක්ක සපුරාගන්න පහසු වෙනවා. ඔබ තම ජිවිතයේ වගකීම් භාරගත හැකි පුද්ගලයෙක් බවට පත්වෙනවා.

 

උපදෙස්

දීප්ති පෙරේරා

රූපලාවණ්‍ය සහ පෞරුෂ සංවර්ධන උපදේශිකා

 

2020/01/15 තරුණි බලන්න