තිත්ත කරවිලවල පැණි රස ඇත්ත

ජනවාරි 15, 2020

අප රස විඳින්න පුරුදුවී සිටින්නේ රස නහර පිනා යන ප්‍රණීත රසමසවුළුවලින් කුස පුරවා ගන්නටය. බොහෝ විට තිත්ත රසට හිමිවී ඇත්තේ කුඩම්මාගේ සැලකිලිය. එහෙත් දියවැඩියාවට ගොදුරුවූ පසු රෝගියාගේ දිව්‍යමය ආහාරය බවට පත්වන්නේ කරවිල. ඒ වන විට රෝගය පූර්ව දියවැඩියා තත්ත්වය ඉක්මවා ගොසිනි.

ආයුර්වේදයට අනුව අපේ සෑම ප්‍රධාන ආහාර වේලක්ම මධුර, තිත්ත, කටුක, ලවණ, අම්ල, කෂාය යන සය රසයන්ගෙන් සමන්විත විය යුතුයි. මේ රස හයෙන් වැදගත්ම රසයක් වන තිත්ත රසය අපි බොහෝ විට අමතක කර ඇත්තෙමු. තිත්ත රසය අපේ කෑම පිඟානට එක් කරගත හැකි හොඳම ව්‍යාංජනය කරවිලයි.

කරවිලවලින් සිරුරට එක්වන්නේ ඉතා අඩු ශක්ති ප්‍රමාණයකි. ඒ නිසා ස්ථුලතාවටත් බෝ නොවෙන රෝගවලටත් කිසිවිටකත් හේතු නොවෙයි.

බෝ නොවන රෝග ඇතුළු බොහෝ රෝග වළක්වා අපට නීරෝගි සුවය ලබාදෙන පෝෂක ගණනාවක් මෙහි අඩංගුය. නැවුම් කරවිල ග්‍රෑම් සියයකින් දෛනික විටමින් සී අවශ්‍යතාවෙන් සියයට 140 ක් ( මිලිග්‍රෑම් 84 ක් ) අඩංගුය. කරවිල යනු ෆෝලේට් ගබඩාවකි. ගර්භණී මවුවරුන් කුසෙහි වැඩෙන දරුවාගේ සුෂුම්නා රජ්ජුවේ ගැටලු මතුවීම වැළැක්වීමට ෆෝලේට් අඩංගු ආහාර පාන ගත යුතුය. නැවුම් කරවිල සලාදයකින් ෆෝලේට් සෑහෙන ප්‍රමාණයක් ලබාගත හැකිය.

නිතර කරවිල ආහාරයට ගන්නවා නම් විටමින් ‘ ඒ ‘ ඌනතාවක් ඇති නොවෙයි. වයස්ගත වීමත් සමඟ ඇස්වල පෙනීම අඩු නොවීමට, සමහර පිළිකා වැළැක්වීමට, ප්‍රතිශක්තිය වැඩි දියුණු කිරීමට විටමින් ‘ඒ ‘ අත්‍යවශ්‍යය. විටමින් බී කාණ්ඩ ගණනාවක් ද සුළු ප්‍රමාණවලින් වුවත් මෙහි අඩංගුය. විටමින් බී 3 (නියැසින්), පැන්ටොතෙනික් අම්ලය (විටමින් බී 5), පිරිඩොක්සින් (විටමින් බී 6) ඒ අතරින් ප්‍රධානයි. මීට අමතරව යකඩ, සින්ක්, පොටෑසියම්, මැංගනීස් සහ මැග්නීසියම් වැනි ඛනිජ වර්ග ද අඩංගුය.

ආයුර්වේදයට අනුව කරවිල සෙම් හා පිත දෝෂය සමනය කරයි. එමෙන්ම වාතය කුපිත කරන්නේ ද නැත. කරවිල සතු ඔසු ගුණය මෙපමණැයි කිව නොහැකිය. මෙයින් සම පිරිසුදු කරයි. තුවාල සුවවෙයි. පිලිස්සුම්වලින් සහනයක් ලද හැකියි. ජීර්ණ ශක්තිය වැඩි දියුණු කරයි. රස දැනීමේ ගැටලුවලින් සහනයක් ලැබීමට උපකාරී වෙයි. මල බද්ධය වැළැක්වීමේ ගුණයක් ද පවතියි. පණු රෝග සෑදීම වළක්වයි. රුධිරය පිරිසුදු කරයි. ප්‍රදාහයන් වළක්වයි. රුධිරයේ සීනි මට්ටම අඩු කර දියවැඩියාව පාලනයට උපකාරී වෙයි. මෞත්‍රලිංගික පද්ධතිය ආශි‍්‍රත ගැටලු රැසකට කරවිල ඔසුවකි.

 

ඉන්දියානු ආයුර්වේද උපදෙස් ඇසුරිනි.

 

2020/01/15 තරුණි බලන්න